bulathsinhala-incident

බුලත්සිංහල ඉංගිරිය මාර්ගයේදී පෙරේදා (19දා) පුද්ගලයෙකු මෝටර් රථයකට යටකර පළා ගිය අයෙකු තුවාලකරු මිය ගිය බව දැනගත් පසු හිසරදයක් හා පපුවේ අමාරුවක් වැලඳුණු බව පවසා හොරණ මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි බුලත්සිංහල පොලීසිය පවසයි. බුලත්සිංහල,මීගහකුඹුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අනතුර සිදුකර සැඟව සිට පසුව රෝහල්ගතව ඇතැයි පොලීසිය පවසයි.

බුලත්සිංහල, ඉංගිරිය මාර්ගයේ ඉංගිරිය දෙසට ගමන් කළ මෝටර් රථයකට හල්වතුර පාලම අසලදී මහමග ගමන් ගත් පුද්ගලයෙකු යටවී බරපතළ තුවාල සිදුව තිබේ.

එම අවස්ථාවේ අනතුර සිදු කළ මෝටර් රථය නොනවත්වා ධාවනය කොට ඇත. තුවාලකරු ප්‍රදේශවාසීන් විසින් හොරණ මුලික රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට පසු ඊයේ (20දා) උදෑසන මිය ගොස් ඇතැයි බුලත්සිංහල පොලීසිය කියයි. බුලත්සිංහල,හල්වතුර, කෝන්ගස්තැන්ත පදිංචි කේ. මහදුරගේ නිමල්සිරි නමැති 55 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාලකරු මිය ගිය පසු සැකකරු හිසරදය හා පපුවේ වේදනාවක් වැලදී හොරණ මුලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඊයේ (20දා) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව බුලත්සිංහල පොලීසිය පැවසීය. බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපති සුසන්ත ධර්මප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.