
“මා වැඳල ඉල්ලනවා මේ අලි ප්‍රශ්නෙට ඉක්මනින් විසඳුමක් දෙන්න කියලා. මේ නිසා ජීවිත විනාශ වෙනවා. මාත් දරු දෙදෙනාත් තනිවුණා” යැයි කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාව අවස්ථාවේ දී ප්‍රහාරයකින් මියගිය පොලිස් නිලධාරියාගේ බිරිය වන ශිරෝමා කුමාරි මහත්මිය හඬමින් කීවාය.
මෙසේ මියගියේ කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව සේවය කළ ඒ.පී. සුනිල් (54) නමැති පොලිස් සැරයන්වරයෙකි. ඔහු වාරියපොළ, මල්වාන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. අලි පහරදීමකින් අයකු මියයාමට විරෝධය පාමින් ඉකුත්ද පැවැති විරෝධතාවක් අවස්ථාවේ දී ප්‍රකෝප වූ පිරිසක් පොලිසියට එල්ල කළ ප්‍රහාරයකදී බරපතළ තුවාල ලබා පොලිස් නිලධාරියා මියගොස් ඇත.මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ මෙසේද කීවාය.
“මහත්තයා අන්තිමට ගෙදර ඇවිත් ගියේ ලොකු පුතාගේ උපන්දිනේට. එයා සැප්තැම්බර් 06 වැනිදා ආපහු ගියේ. නිවාඩු නැහැ කියලා මට කෝල් කරලා කිව්වා. 27 වැනිදා ගෙදර එන්න හිටියේ. ඉන්ස්පෙක්ෂන් නිසා එන්න බැරිවුණා. ඊයේ ඉන්ස්පෙක්ෂන් තිබුණා කියලා කිව්වා. රෑ මම කතා කරකොට මහත්තයා පොත් බලනවා කියලා කිව්වා. ඊට පස්සේ ගෙදර එන්න පිටත් වෙනවා කියල මා එක්ක කිව්වා. ඒ අතරේ තමයි ඔය සිද්ධියට ගිහින් තියෙන්නේ. මම රෑ ෆෝන් එකට ගත්තා කීප සැරයක්. ඒත් වැඩ කළේ නැහැ. මේ රජයට අපි කියන්නේ මේ වන අලි ප්‍රශ්නයට මොකක් හරි කරන්න කියලා. අහිංසක මිනිස්සු නැති වෙනවා. ඒකෙන් පාඩුව මටයි මගේ දරු දෙන්නටයි.
මේකට විසඳුමක් කවුරුවත් දෙන්නේ නැහැ. අලි ප්‍රශ්නෙට කිසි දෙයක් කරන්නේ නැහැ. මගේ මහත්තය රටක් වටින මනුස්සයෙක්. ආයෙත් කෙනකුට මේ ගින්දර පත්තුවෙන්න දෙන්න එපා කියලා ඉල්ලනවා. ලොකු පුතා ඒ.පී. සමිත ලක්ෂාන් (22), පොඩි පුතා ඒ.පී. සචින්ත ලක්ෂාන් (14) වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ ඉගෙන ගන්නවා" යැයිද කීවාය.
රවින්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval