cricket-legends

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 14 කින් ජය ගනිමින් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්විය.





තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 172 ක් රැස් කරන ලදි. ඉෂාන් ජයරත්න පන්දු 19 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 31 කි. ඔහුගේ ඉනිම එක් හතරේ පහරකින් සහ හයේ පහර 02 කින් වර්ණවත් විය. පන්දු 19 කදී සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළ අතර ජීවන් මෙන්ඩිස් ලකුණු 25 කි.

ජයග්‍රාහී ලකුණු 172 ක් රැස්කිරීම සඳහා පිටියට ආ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 07 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණි. නර්සින් ඩියෝනරීන් පන්දු 39 කදී ලකුණු 63 කි.

පන්දු යැවීමේදී සනත් ජයසූරිය සහ නුවන් කුලසේකර කඩුළු 02 බැගින් දවා ගත් අතර ඉසුරු උදාන, තිලකරත්ක ඩිල්ෂාන්, අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් ලබාගත්හ.

තරගය ජය ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉන්දියාව සමග රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අද  රාත්‍රි 07.30 ට රායිපූර්හිදී තරග වදිනු ඇත.