ranil-speaks

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබද පිහිටුවන තේරීම්කාරක සභාව තීරණයක් නොගතහොත් ජනමත විචාරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා. පළාත් පාලන සභික සංඛ්‍යාව අටදහසේ සිට හාරදහස දක්වා අඩුකරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.



මේ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ දේශපාලන පක්ෂ අරගලයට හේතු වුවද අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නොමැති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීයවේදීන් සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද පැවැත්වුණා. පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම්කාරක සභාවක් පත්කිරීමට යෝජිතයි. එම තේරීම්කාරක සභාව ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළා.



රටේ බහුතරය පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් දේශපාලන වෙනසක් ඇති කළ යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. ඒ අනුව මීලග මැතිවරණයට පෙර පලාත් පාලන ආයතන සදහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අටදහසේ සිට හාරදහස දක්වා අඩුකර ජනසභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිතයි.

දේශපාලන දූෂණයට  ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් සමග මැතිවරණ ක්‍රමයට යා යුතු බව දැනුම් දුන්නා. මැතිවරණයට වියදම් කරන මුදල් සදහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

අපේ රටේ දේශපාලන පක්ෂවල තරුණ පිරිස් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුත් සංවිධාන නැති බවද කියා සිටියා. දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව සාමාජිකයින් බදවා ගැනීම මෙන්ම මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් තෝරාගැනීම වැනි කරුණු පිළිබද වෙනම නීතියක් ඉදිරිපත් කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

අලුත් ආර්ථිකයක් සමග අලුත් ආකල්ප තිබිය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මන්ත්‍රීවරුන් විනය කඩ කර තිබේ නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කල හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරා එය වඩාත් ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙන් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබද නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද කියා සිටියා. පාර්ලිමේන්තුව එය අනුමත කල යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. දේශපාලන පක්ෂ අරගලවලට සම්බන්ධ වුවද  අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නැති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.  වෘත්තීයවේදීන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමග සුහද කතා බහක ද නිරත වුණා.