
තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ දමා ගැනීම සඳහා තැපැල් ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කළද, මිල ඉහළ යාමත් සමග දෛනිකව ලැබෙන ලිපි ප්‍රමාණය ලක්‍ෂ 20 සිට ලක්‍ෂ 12 දක්වා අඩු වී තිබෙන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. අගෝස්තු 15වැනිදා ගාස්තු ඉහළ දැමීම සිදුකළ බවත්,
මේ අනුව සාමාන්‍ය ලිපියක මුද්දර ගාස්තුව රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ ගිය බවත්, රුපියල් 45කට පැවති ලියාපදිංචි ලිපියක මුද්දර ගාස්තුව රුපියල් 110 දක්වා ඉහළ ගිය බවත් එම සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. ගාස්තු ඉහළ යාමත් සමග විවිධ කටයුතු සඳහා තැපැල් කන්තෝරුවලට පැමිණෙන පිරිස්වල අඩු වීමක් සිදු වී තිබෙන බවත්,
දෛනිකව ලැබෙන ලිපි ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.මේ අනුව මුද්දර ගාස්තු ඉහළ දැමීම තුළින් බලාපොරොත්තු වූ ආදායම් අහිමි වී තිබෙන බවත්, මේ නිසා මුද්දර ගාස්තු සංශෝධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් චින්තක බණ්ඩාර මහතා පැවසීය.
මුද්දර ගාස්තු ඉහළ දැමීම තුළින් අපේක්ෂිත ආදායම් අහිමි වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩම් පෞද්ගලික අංශයට ලබාදී යම් ආදායම් උපයා ගැනීම සදහා කැබිනට් මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත්, මේ තුළින් සිදුවන්නේ, තැපැල් දෙපාර්තමේන්තු ඉඩම් ටිකත් දෙපාර්තමේන්තුවට අහිමි වීම බවත් ඒ මහතා සඳහන් කළේය.
(ඉන්දික හේවාවිතාරණ)
Comments
Post a Comment
Your comment will be visible after approval