parliament-drug-case

පාර්ලිමේන්තුවේ සේවකයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් සියයක් ද සමඟ තලංගම පොලිසිය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (5) අත්අඩංගුවට ගනු ලැබිය.

එම සේවකයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය. මේ අතර ලීටර් පහක කිරි ටින් එකක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පාර්ලිමේන්තුවෙන් පිට කිරීමට උත්සාහ දැරුවේ යැයි පැවසෙන සේවකයෙක් එහි උසස් නිලධාරියකු විසින් ඊයේ (5) උදේ අතටම අල්ලා ගනු ලැබීය. 

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජයන්තිපුර ආරක්ෂක පිවිසුමේ පොලිස් නිලධාරින් කළ දැනුම්දීමක් අනුව එම ප්‍රධානියා වහා ක්‍රියාත්මක වී ඔහු මෙසේ අල්ලාගෙන ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. මෙසේ පිට කිරීමට උත්සාහ දරා ඇතැයි පැවසෙන ද්‍රව්‍ය අතර තේ කොළ ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක් ද වෙයි. මෙම මේ සිද්ධිය සම්බන්ධයෙන් විධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ඊයේම ආරම්භ කෙරණි.

පරීක්‍ෂණයෙන් අනතුරුව සිද්ධිය පිළිබදව විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාරදීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තුවේ වැසිකිළි පෝච්චි කිහිපයකට විසිකර තිබූ පිසින ලද කුකුල් මස් ප්‍රමාණයක් ද පෙරේදා (4) සවස සොයාගෙන ඇතැයි වාර්තා වේ. පොලිස් නිලධාරින් පැමිණෙනු ඇතැයි බියවි යම් සේවකයකු හෝ පිරිසක් ඒවා මෙසේ විසිකර දමා යන්නට ඇතැයි

අරක්ෂක අංශ සැක කරයි.මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ ගමන්මලු පාර්ලිමේන්තුවට ඇතුළු වන අවස්ථාවේ දී මෙන්ම පිටවන අවස්ථාවේදී ද පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. පාර්ලිමේන්තුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු ප්‍රධානීන් මෙම පියවර ගෙන තිබේ.

 අංජුල මහික වීරරත්න