netball-thilini

ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගි නොවුණු වත්මන් දැල්පන්දු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවක් වන මැදපෙළ (Center) ක්‍රීඩිකා තිළිණි වත්තේනගෙදරට විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ. ජාතික දැල්පන්දු සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී තමාට අසාධාරණයක් වුණු බව පවසමින්,

තිළිණි වත්තේගෙදර ගෙදර ආසියානු දැල්පන්දු තරගාවලිය ආරම්භයට පෙර අභියාචනාවක් ජාතික ක්‍රීඩා සභාවට ඉදිරිපත් කර ඇති අතර, එහි විමර්ශනයට ඊයේ (O6) දා පැමිණෙන ලෙස ජාතික ක්‍රීඩා සභාවෙන් දන්වා තිබූ බව හෙළිවේ. ඒ අනුව තමාට සාධාරණයක් අපේක්ෂාවෙන් එහි ගිය මෙම ක්‍රීඩිකාවට ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගි නොවුණු නිසා විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරිය වන සුජානි බෝගොල්ලාගම මහත්මිය ඊයේ මෙම විමර්ශනය පවත්වා ඇති බව වාර්ත වන අතර, චෝදනා පත්‍රයක් නොමැතිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් ක්‍රීඩා සභාවට පවතින්නේද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. ජාතික ක්‍රීඩා සභාව පත්ව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට වන අතර, එහි ලේකම්වරිය එය අමතක කරමින් ක්‍රීඩිකාවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කිරීම කනගාටුවට කරුණක් බව දැල්පන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. ආසියානු දැල්පන්දු තරගාවලියේ පළමු ක්‍රීඩිකාවන් 12ට තෝරා නොගැනුණු මෙම ක්‍රීඩිකාව පසුව අභියාචනයක් ඉදිරිපත් කිරීම මත යළිත් තේරීම් තරගයක් පැවැත්වීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.

එම තේරීම් තරග ආරම්භයේදී ආබාධයකට ලක්වුණු මෙම ක්‍රීඩිකාවට වෛද්‍ය උපදෙස් මත දින 14ක් සිටින ලෙස උපදෙස් ලැබී තිබුණු අතර, පසුව ආසියානු දැල්පන්දු තරගාවලියට නම් කළ 15 දෙනෙකුගේ නාමලේඛනයටද ඇයගේ නම ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත් ඇය රාජකාරී කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් අවශ්‍ය නිවාඩු (Duty Leave) අනුමත කර ගැනීමට සහ තරගාවලියට සහභාගි වීමට අවශය අනුමැතිය සහිත කිසිදු ලියවිල්ලක් ඇයට ලබාදී නොමැත. එමෙන්ම එම ලිපිලේඛන ශ්‍රී ලංකා ගුවන් හමුදාවටද ලබාදී නැති බව වාර්තතා වේ. මෙවැනි පසුබිමක් මධ්‍යයේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයෙන් සිදුවූ අතපසු වීමකට මෙම ක්‍රීඩිකාවට විනය ක්‍රියාමාර්ග ගැනීම කොයිතරම් යුක්ති සහගතද යන ක්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක්‍රීඩා සභාව ඇතුළු ක්‍රීඩා බලධාරින් යළිත් සිතා බැලිය යුතුය.

(පැතුම් ශ්‍රී විජේරත්න)