india-cricket-legends-victory

ඊයේ ඉන්දියාවේ රායිපූර්හිදී පැවති රෝඩ් සේෆ්ටි ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කන්ඩායම සමත් විය. පසුගිය දිනවල ජයග්‍රාහී ලෙස ඉදිරියට පැමිණ අවසානයේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූ අතර අනුශූරතාව හිමි විය.
ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙම ශූරතාව දිනාගත්තේ දෙවන වරටය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් රැස් කිරීමට සමත් විය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 162ක් පමණි.
සනත් ජයසූරිය ලකුණු 5 කට දැවී ගිය අතර, ඩිල්ෂාන් මුණවීර ලකුණු 9යි. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 11කටත්, උපුල් තරංග ලකුණු 10කටත් දැවී ගියේය. අසේල ගුණරත්න ලකුණු 19 ක් ලබා ගත් අතර ජීවන් මෙන්ඩිස් ලකුණු 20 යි.

අනතුරුව මහේල උඩවත්ත හා ඉෂාන් ජයරත්න 7 වැනි කඩුල්ල සදහා ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේය.
මහේල ලකුණු 26 ක් ලබා ගත්තේ පන්දු 19 කින්. ඉසුරු උදාන පළමු පන්දුවෙන්ම දැවී ගියා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඉෂාන් ජයරත්න ලකුණු 51 ක් රැස් කළේ පන්දු 22 කිනි. ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 4 කින් වර්ණවත් වුණා. ධම්මික ප්‍රසාද් ලකුණු නොලබා දැවී ගියේය.

පන්දු යැවීමේ දී විනයි කුමාර් ලකුණු 38 කට කඩුලු 3ක් හා අභිමන්යූ මිතුන් ලකුණු 28 කට කඩුලු 2ක් දවා ගත්තා.



තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් රැස් කළේ නාමන් ඕජා වාර්තා කළ විශිෂ්ට ශතකයද සමගිනි.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි සචින් ටෙන්ඩුල්කාර් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. සුරේෂ් රයිනා ද නුවන් කුලසේකරගේම පන්දුවක් හමුවේ ලකුණු 4 (2) කට දැවි ගියේය.
විනයි කුමාර් පන්දු 21 කින් ලකුණු 36 ක් රැස් කළ අතර යුවරාජ් සිං ලකුණු 19 ත් ඉර්ෆාන් පතාන් ලකුණු 11ක් යුසුෆ් පතාන් ලකුණු නොලබාත් දැවී ගියේය.
සුපිරි ශතකයක් වාර්තා කළ නාමන් ඕජා පන්දු 71 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 108 කි. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 15 ක් ඇතුළත්ය. ස්ටුවර්ට් බිනී නොදැවී ලකුණු 8කි.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඉසුරු උදාන කඩුලු 2 ක් ද, ඉෂාන් ජයරත්න එක් කඩුල්ලක් ද බිද හෙළන ලදි.