english-nurses-sri-lanka-uk

ඇමෙරිකාවේ රැකියා සදහා 2016 වසරේදී අයදුම් කළ (ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙරට රජය අතර ඇතිකරගත් ගිවිසුමකට  අනුව හෙදියන් 425 ක පිරිසක් අතුරින් අදාළ භාෂා (ඉංග්‍රීසි) ප්‍රවීණතා විභාගය සමත්වූයේ හදියන් තිදෙනකු පමණක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. එම ගිවිසුම අනුව ඇමෙරිකාවේ රැකියා අවස්ථා මෙලෙස ලැබී තිබුණේ මෙරට සුදුසුකම් සහිත හෙදියන්ටය. මේ තොරතුරු අනාවරණය වූයේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගැයීම පිළිබඳ වූ කාර්ය සාධන විගණන වාර්තාව පරීක්ෂා කිරීම සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වැනිදා රැස්වූ අවස්ථාවේ දී ය.

මේ අතර වෘත්තීය පුහුණු ආයතන සමග ඒකාබද්ධව පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස කෝපා කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නියෝග කළේය.  මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවට නැවතත් කැඳවන බවද කමිටු සභාපතිවරයා පැවසීය.



විදෙස් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන්හට විශාල ඉල්ලුමක් තිබුණද ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතළ ගැටලුවක් බවත් 2021 වසරේ පුහුණු ශ්‍රමිකයන් යැවීම සියයට 33ක පහළ අගයක් ගෙන තිබූ බවත් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. අදාළ වගකිව යුතු ආයතන මනා සම්බන්ධීකරණයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතු වූ බව මෙහිදී සඳහන් විය. මේ අනුව විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ලොව නව රැකියා වෙළෙඳපොළ පිළිබද නිරන්තර අවධානයෙන් සිට ඉල්ලුම පවතින ක්ෂේත්‍රයන්ට අදාළව ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා නව සැලැස්මක් සහිත කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.



ජාතික විගමණික ශ්‍රමික ප්‍රතිපත්තියක් සකසා තිබුණද ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමුවිය. මේ අනුව මෙම ප්‍රතිපත්ති කාලීන වශයෙන් යාවත්කාලීන කිරීම කළ යුතු බව කමිටුව පෙන්වා දු න්නේය. ජපානය, කොරියාව ඊශ්‍රායලය වැනි රටවල රජයයන් අතර පවතින ගිවිසුම අනුව පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා අවකාශය තිබුණද අදාළ රටවල භාෂා ප්‍රවීණත්වය මෙන්ම වෘත්තීමය කුසලතාව සහිත පිරිස අඩුවීම හේතුවෙන් ඒ අවස්ථාව අවම වන බවද තොරතුරු අනාවරණය විය.  මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය  සුරේන් රාඝවන්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ලසන්ත අලගියවන්න සහ ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන්  පෙරේරා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  ජේ.සී. අලවතුවල, ඉසුරු දොඩංගොඩ, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර සහ වීරසුමන වීරසිංහ  යන මහත්ම මහත්මීහුද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාසිංහ යන මහත්වරු ද රාජ්‍ය නිලධාරිහු තවත් පිරිසක් ද සහභාගි වූහ.


අංජුල මහික වීරරත්න