university-student-world-bank

සිසුන් හා ආචාර්යවරුන් බඳවා ගැනීම ද ඇතුළුව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි කිරීම සඳහා එකඟ වී තිබූ රුපියල් කෝටි තුන්සියයක ණය ලබා දීම ලෝක බැංකුව විසින් අත්හිටුවනු ලැබ ඇත.
වසරකට දසදහස බැගින් විශ්වවිද්‍යාලවලට සිසුන් අමතරව ඇතුළත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත්තේ මෙම ණය අපේක්ෂාවෙනි. ඒ අනුව සිසුන් විසිදහසක් මේ වන විට විශ්වවිද්‍යාලවලට අමතරව ඇතුළත්ව සිටින නමුත් එම ණය නොලැබීම නිසා එම සිසුන් වෙනුවෙන් කිසිදු මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නොහැකි වී තිබේ.

සිසුන් ඇතුළත් කිරීමට අදාළව ආචාර්යවරුන් බඳවා ගැනීම ඇතුළු අනෙකුත් පහසුකම් ලබා නොදීම නිසා විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පරිපාලන අංශ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.



මේ වන විට ප්‍රතිඵල නිකුත් කර තිබෙන උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලබා සිටින තවත් සිසුන් දසදහසක් මෙවර අමතරව ඇතුළත් කෙරෙන අතර ඒ අනුව අමතරව ඇතුළත් කර සිටින සිසුන් සංඛ්‍යාව තිස් දහස දක්වා වැඩි වෙයි.

මෙම සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර තබා ආපනශාලා පහසුකම් හෝ අලුතින් ලබා දීමට කිසිදු හැකියාවක් නැතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් උපකුලපතිවරයෙක් සඳහන් කළේය.

අන් කවර ක්ෂේත්‍රයකට අදාළව ණය අත්හිටුවුව ද අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ලබා දීමට එකඟ වූ ණය අත්හිටුවීම බරපතළ අසාධාරණයක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ද පැවසීය. මේ නිසා කිසිදු අමතර පහසුකමක් ලබා දීමට නොහැකි වී ඇති බවත් මෙම තත්ත්වය මත සිදු වන්නේ සිසුන් පහසුකම් ඉල්ලා පාරට බැසීම බවත් කී සභාපතිවරයා ලෝක බැංකුව එම ණය ලබා දීමට එකඟව සිටියේ සාකච්ඡා වට ගණනාවකින් පසුව බව ද කීවේය.



ලෝක බැංකුව ණය දීම අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් වන තෙක්ය. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කළේ විදෙස් ණය නොගෙවා ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයට පත්වීම හේතුවෙනි.

(නිලන්ත මදුරාවල-අරුණ)