uduwe-dhammaloka-court

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත්වන අධික ශබ්දය හේතුවෙන් මහජන පීඩාවක් සිදුකරන ලදැයි චෝදනා එල්ල වී තිබෙන උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලබන ඔක්තෝබර් 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඊයේ (28 වැනිදා) නොතිසි නිකුත් කළේය.




මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණ හමුවේ පෙනී නොසිටි අතර, ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නොතිසි නිකුත් කළේය.

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, පරිසර යුක්ති කේන්ද්‍රය, වෛද්‍ය කාලිංග කළුපෙරුම, කමලේෂ් ජෝන් පිල්ලෙයි, ගාමින්ද ජයසිංහ, ඩිරේන් ආර්. හැලෝක් යන අය විසින් 2016 වසරේදී ගොනු කර තිබූ පුද්ගලික නඩුවකට අදාළව එම නොතිසිය නිකුත් කර තිබුණි.



පොල්​හේන්ගොඩ ඇලන් මැතිනියාරාමය විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මහජනයාට පීඩාවක් ඇතිවන අයුරින් කටයුතු සිදුකළේ යැයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වගන්තිය ප්‍රකාරව මෙම නඩුව අධිකරණය හමුවේ පවරා තිබුණි.

(ඉෂාර රත්නකාර-aruna)