subramanium-swamy-rajapaksa

ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන සුබ්‍රමනියන් ස්වාමි මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කොළඹදී හමුවී තිබේ.
සුබ්‍රමනියන් ස්වාමි මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් හා එක්ව නවරාත්‍රී දින සැමරුමක්ද ඊයේ  (28) සිදු කළේය.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවට ඉන්දීය නීතීඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක්ද එක්ව සිටි බව වාර්තා කර තිබේ.


හිටපු ජනපතිවරයා ලංකාවෙන් පළාගොස් නැවත දිවයිනට පැමිණි පසු ඡායාරූපවල පෙනී සිටීමක් සිදුවූ පළමු වතාව මෙයයි.

භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥ සුබ්‍රමනියන් ස්වාමි කවදත් රාජපක්ෂ පවුලට හිතවත්ය.
ඔහු පසුගිය කාලයේ අරගලය අතරතුර ශ්‍රී ලංකාවේ රාජපක්ෂ වරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ නිකුත් කළ අතර එම ප්‍රකාශ ආන්දෝලනයට තුඩු දුන්නේය.
ඔහු ඉන්දීය රජයට කියා සිටියේ නීතියෙන් පත්වූ රාජපක්ෂ පාලනයට අභියෝග කරන අරගලකරුවන්ට එරෙහිව ඉන්දියානු හමුදා යැවිය යුතු බවයි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද පැවති අතර ඊට සහභාගි වීම සඳහා සුබ්‍රමනියන් ස්වාමි මහතා ඇතුළු පිරිසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර ඇතැයි වාර්තා විය.
 ඔහු හෙට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමටද නියමිතය.