ranjith-bandara-slpp

පොහාට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මීට සති දෙකකට පමණ පෙර ඇමරිකාව බලා පිටත්වී ගියේය. ආරංචි මාර්ග පවසන්නේ බැසිල්ගෙන් හිස් වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුරේ වැඩ කටයුතු නාමල් භාර ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ නිල වශයෙන් ප්‍රකාශයක් කර නැතත් නාමල් සති දෙකක කාලයක සිට දිගින් දිගටම පොහොට්ටුව වෙනුවෙන් නිවේදන නිකුත් කරමින් සිටින බව පැවසේ.
පොහොට්ටුවේ සභාපති ධුරය පිළිබඳ මේ වන විට අර්බුධයක් නිර්මාණය වී තිබේ. සභාපතිවරයා ලෙස කටයුතු කරන ජී. ඇල්. පීරිස් මේ වන විටත් විපක්ෂයේ අසුන් ගෙන සිටින බැවින් නව සභාපතිවරයකු පත් කර ගැනීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ.

පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ අදහස වී ඇත්තේ දේශපාලනයේ නිරත නොවන වෘත්තිකයකු සභාපතිවරයා ලෙස තෝරා ගැනීමයි. මේ සම්බන්ධයෙන් බැසිල් නාමල් සමගද කතා කර ඇත. පක්ෂයේ සභාපති තනතුරට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති දෙමළ හෝ මුස්ලිම් තරුණයකු සොයන ලෙස බැසිල් නාමල්ට ද පවසා ඇති බව කියයි. මේ වනවිටත් එකී තනතුර සඳහා තමන්ගේ හිතේ කෙනෙකු සිටින බවද බැසිල් මෙහිදී නාමල් ට පවසා ඇත.
පොහොට්ටුවේ සභාපති ධුරයට බැසිල්ගේ සමීපතමයකු වන ජාතික ලැයිස්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩර පත් කිරීමට යන බවට මේ වනවිට රාවයක් පැතිර යයි. පාර්ලිමේන්තුවේ කමිටු රැසක සාමාජිකයකු ලෙස ද කටයුතු කරන ඔහු කෝප් කමිටුවේ සභාපති කිරීමට යන කතාවක්ද පැතිර යයි. මේ කතා හැම එකක්ම රන්ජිත් බණ්ඩරම මුදල් වියදම් කර ප්ලාන්ට් කළ ඒවා බවට ද තවත් කතාවක් පැතිර ඇත.

මේ කතා සියල්ල මේ වන විට ඇමරිකාවේ සිටින බැසිල්ටද ආරංචි වි තිබේ.

බැසිල් පසුගිය දිනෙක පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ට අමතා ඇත. ‘‘සාගර බලන්න ඔය රංජිත්ව සභාපති කරන්න යනවා කියලා නිවුස් ප්ලාන්ට් කරන්නේ කවුද කියලා. මටනං පේන්නේ මිනිහාම මේ කතා හදනවා වගේ’’ යැයි සාගරට බැසිල් පැවසූ බව පොහොට්ටුවේ ආරංචි මාර්ග කියයි.

පක්ෂය අභිපේරණය කිරීමට බැසිල් නොසිටීම බලවත් පාඩුවක් වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් පවසා ඇත්තේ  යම් හෙයකින් පුංචි ඡන්දය පැවැත්වුහොත් දැන් පොහොට්ටුවට අවාසිදායක බවයි.
ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන ජනපති පාර්ශ්වයෙන් ඉඟි පළ වුණත් මේ අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණයකටවත් යාමට පොහොට්ටුවේ සූදානමක් නැති මට්ටමක සිටින බවට වාර්තාවේ.