
රටේ පවතින තත්වය අනුව ළගදිම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීම් ලකුණු ඇති බවත් ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2 වැනිදා පැවසීය. ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනකුට විපක්‍ෂයේ අසුන් ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩ කිරීමට සුදානම් නැති නිසා යැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. වාම ප්‍රගතිශීලී දේශපාලන කඳවුර සමග සන්ධානයක් ගොඩනගා ආණ්ඩුවක් පිහිටුවීම ඉදිරියේ දී අනිවාර්යයෙන් කරන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා කලකිරී සිටින පොහොට්ටු සාමාජිකයන් ද එක්කර ගනිමින් වහාම ප්‍රතිසන්ධාන කටයුතු අරඹන්නැයි පස සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී 2 වැනිදා පැවැති එම පක්ෂයේ 71 වැනි සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.
"අපේ කමට පණ දෙමු - අභියෝගය අතට ගමු - යුග මෙහෙවරට උර දෙමු' යන තේමාව යටතේ මෙවර පක්ෂ සංවත්සර සැමරුම සංවිධානය කර තිබිණි.
බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි කී හිටපු ජනාධිපතිවරයා නැවත ජයග්‍රහණය කරා යාමේ හැකියාව තිබෙන බව ද පැවසීය. එහිදී සිරිසේන මහතා මෙසේ ද කීවේය.
“අපේ පක්‍ෂයේ හරිහැටි විනයක් නොමැති බවට ආසන සංවිධායකවරුන් ඇතුළු අයගෙන් චෝදනා එනවා. අපේ නායකයාගේ කොන්ද පණ නැති නිසා පක්ෂය කෑලිවලට කැඩි කැඩී යන බව කියනවා. එසේ වී ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ විනය කටයුතු පිළිබඳ කරුණුවල ඇති අඩුපාඩු නිසයි. මට අවශ්‍ය සමඟියෙන්, සහෝදරත්වයෙන් පක්‍ෂය ශක්තිමත් කරමින් ගමනක් යාමට කටයුතු කරන්නයි. අනාගතයේ දී වාම ප්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ සමඟ එක්ව සන්ධානයක් ගොඩනගා ඉදිරි ජාතික මැතිවරණයක් තරග කර ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙනවා. අද රුපියල් 100ක් ඉල්ලා අවුරුදු 10කට අඩු දරුවකුට මන්නයකින් පහරදෙන තරමට අපේ රටේ මිනිස්කම නැතිවෙලා. අද පාසල් යන්න මුදල් නැතිව ලක්‍ෂ ගණනක් දරුවන් නිවෙස්වල ඉන්නවා. කෙටි කාලයකට සර්වපාසෂික ආණ්ඩුවක් යෝජනා කළේ මේවාට පිළියම් සොයන්නයි.
අපි මේ යෝජනාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා වත්මන් ජනාධිපතිවරයාටත් ඉදිරිපත් කළා. ඒත් එයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති පොහොට්ටුව කැමති නැති බව පේනවා.
රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කරන්න එයාල කැමති නෑ. පොහොට්ටුවේ 42ක් අද විපක්‍ෂයේ වාඩිවෙලා ඉන්නේ ඒ නිසයි. අපිත් සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්‍ෂයේ නොවුණට විපක්‍ෂයේ වාඩි වී අපේ කාර්යය කරනවා. මම 19 වන සංශෝධනයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක්ක කෙනෙක්. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ බලතල ඉවත් කරගෙන නැහැ. එය මා කියන්නේ ලොකුකමට නෙවෙයි. ආණ්ඩුවේ 19ටත් අකමැති අය ඉන්නවා. අරගලයේ දරුවන් කී පරිදි අද ජනතාව පාර්ලිමේන්තුව පැත්තේ නෑ. පාර්ලිමේන්තුව ජනතාවගේ පැත්තේ නැහැ.
පාර්ලිමේන්තුවේ 225 අංකවල හැටියට ගන්නා තීන්දු වැඩි හරියක් වැරදියි. අද රට පුරා තිබෙන්නේ ආණ්ඩු විරෝධී ජනමතයක්. ඒ නිසා වහ වහා ගම්වල පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු පටන්ගන්න. පොහොට්ටුවට ඡන්දය දුන් අය දැන් දැඩි කලකිරීමක ඉන්නවා. රටේ අර්බුද විසදීමට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගත හැකි එකම පක්ෂය අපයි. රුසියානු ජනාධිපතිවරයා මට වරක් ලබාදුන් රන් මැණික් එබ්බවූ කඩුව පවා කෞතුකාගාරයට දුන්නා මිස සාක්කුවේ දාගත්තේ නැහැ. ජනාධිපති කාලයේ ලැබුණු සියලු තෑගි පොළොන්නරුවේ මා හැදූ කෞතුකාගාරයේ තිබෙනවා.'
Comments
Post a Comment
Your comment will be visible after approval