new-school-bus-80

මිලදීගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීමෙන් වසර 07ක කාලයක් ගාල් කර තබා ඇති ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට අයත් බස් රථ 80ක් පාසල් ප්‍රවාහනයට යෙදවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම බස් රථ වසර 07කට පෙර  අදාළ සමාගම විසින් ආනයනය කර ඇති අතර, මිලදීගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මේ වනවිටත් අදාළ සමාගමට අයත් පනාගොඩ කර්මාන්තශාලා සංකීර්ණයේ ගාල්කර ඇති බව සඳහන් වේ. ඒ අනුව මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කර සිටියේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව 100%ක් තහවුරු කරමින් මෙම බස් රථවල සියලු අංග නිපදවා ඇති බවයි.

එසේම ඒවායේ ආරක්ෂාව සහ නඩත්තුව පිළිබඳ අශෝක් ලේල්ලන්ඩ් සමාගම සම්පුර්ණ වගකීමද භාරගෙන ඇති බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම මගින් මෙම බස් රථ අවශ්‍ය පාසල් සඳහා ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යාංශය පැවසීය.මේ අතර අදාළ බස් රථවල වත්මන් වෙළෙඳ පොළ වටිනාකමින් අඩකට  මෙම බස් රථ ලබාදීමට සමාගම එකඟතාව පළකර ඇති බවද සඳහන්ය. අමාතයංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ බස්රථ මෙරටට රැගෙන ආ කාලයේ පැවැති විදේශ විනිමය අනුපාතයට බස් රථ ලබාදෙන බවත්, එසේම බස් රථ ධාවනයේ යොදවමින් ආදායම් උපයන අතර වසර 04කින් මුදල් ගෙවීමේ පහසුව ලබාදීමට සමාගම එකඟතාව පළකර ඇති බවත්ය.

( නිදර්ශනී වික්‍රමසිංහ)