gammanpila-speaks

පවතින අර්බුදකාරී තත්ත්වය තවත් වර්ධනය වුවහොත් නිවෙස් වටලා පිසූ ආහාරත් කොල්ලකෑමට ජනතාව පෙලඹිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.



මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.

‘‘තෙල්, ගෑස් අරගලයට වඩා ආහාර, ඖෂධ අරගලය ඉතාමත් භයානකයි. ඉදිරියේදී ආහාර සහ ඖෂධ හිඟයක් ඇතිවන බව පේනවා. රෝහල්වල ඖෂධ හිඟ බවට වෛද්‍යවරු මැසිවිලි නගනවා. කවුරු සඟවන්න හැදුවත් ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බව තිත්ත ඇත්තක්. පසුගිය අප්‍රේල් මාසයේදී ජනතා නැගිටීමක් සිදුවූයේ තෙල් සහ ගෑස් හිඟය නිසා ඇතිවූ පීඩනය හේතුවෙන්. නමුත් ආහාර සහ ඖෂධ නැතිව ජනතාවට පැවැත්මක් නැහැ. ඖෂධ නැතිව දෙමව්පියන් මියයන විට දරුවන් මාරාවේශ වෙනවා.



මේ අර්බුදයට කඩිනම් විසඳුම්​ හෙව්වේ නැතිනම් මාරාවේශ වූ ජනතාවගේ කෝපයට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවේවි. දෙමාපියන්ගේ මරණ හමුවේ, පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගීසිටීමක් සිදුවුවහොත් එය අප්‍රේල් මාසයටත් වඩා අතිශයින්ම භයානක තත්ත්වයක් බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. එසේම රට අරාජික වීමේ අනතුරක්ද තිබෙනවා.

ලෝකයේ වටේ සිඟමන් යැදීම මේ අර්බුදයට ඇති එකම විසඳුම නොවෙයි. ජනතා නැගිටීම තළා දමන්න සැලසුම් සැකසීම මෙම අර්බුදයට විසඳුම නොවෙයි. ආණ්ඩුව මේ දක්වා මේ අර්බුදවලට උත්තර හොයලා නැහැ.’’