elis-amma-story

‘ඒ ළමයා මැරෙන්න කලින් මම මැරුණේ නැත්තේ ඇයි කියලා කියපු අම්මා සුගත් අයියලගේ ගෙදර දිහා බලාගෙන ඉඳලා ගේ ඇතුළට ආවා. පස්සේ අම්මාගේ පපුව ටිකක් රිදෙනවා කියපු නිසා පේරාදෙණිය ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒ යන අතරමගදී ගැටඹේ පන්සල හරියෙදි අම්මා නැති වුණා’ යැයි රණවිරුවාගේ හදිසි වියෝව දරාගත නොහැකිව ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගිය ඇලිස් පෙරමුණගේ (77) දියණිය වන කමනී ජයසේකර පැවසුවාය.



මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුගත් විවාහ වීමෙන් පසු කටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුව, පල්ලේමුල්ල ප්‍රදේශයට පැමිණ තම ඉඩමේ කොටසක නිවෙසක් ඉදිකර පදිංචි වී තිබේ. ඔහු පැමිණි දවසේ පටන් තම අම්මා සමග ලොකු බැඳීමක් තිබුණු බවත් සුගත් අයියා හදිසියේ මියගිය නිසා එය දරා ගැනීමට නොහැකිව අම්මා මිය යන්නට ඇතැයි ද ජයසේකර මහත්මිය කීවාය.

සුගත් අදිකාරම් රණවිරුවාගේ අවසන් කටයුතු පෙරේදා (18 වැනිදා) පස්වරුවේ හමුදා ගෞරව මැද යටිවාවල පොදු සුසාන භූමියේදි සිදුකළ අතර, ඇලිස් මාතාවගේ අවසන් කටයුතු ඊයේ (19 වැනිදා) පස්වරුවේ එම සුසාන භූමියේදීම සිදු කෙරිණි.

පසුගියදා අලුයම හටගත් හෘදයාබාධයක් හේතුවෙන් සුගත් අදිකාරම් මහනුවර ජාතික රෝහල වෙත ඇතළත් කර ඇති අතර එදිනම දහවල් කාලයේ ඔහු මියගොස් තිබේ. එනමුත් ඔහුගේ දේහය නිවෙසට රැගෙන ඒමටත් ප්‍රථම ඇලිස් මාතාව මියයාම අදහා ගැනීමට පවා නොහැකි යැයි ගම්වැසියෝ පැවසූහ.

‘සුගත් අයියා මැරුණා කියලා කියාගෙන කිහිප දෙනෙක් අපේ ගේ ළඟින් සුගත් අයියලාගේ ගෙදර පැත්තට ගියා. ඒක ඇහුණ අම්මා කිව්වා ඒ ළමයා මැරෙන්න කලින් මම මැරුණේ නැත්තේ ඇයි කියලා. එහෙම කියපු අම්මා සුගත් අයියලගේ ගෙදර දිහා බලාගෙන ඉඳල ගේ ඇතුළට ආවා. පස්සේ අම්මා කිව්වා පපුව ටිකක් රිදෙනවා කියලා. අපි ඉක්මනට අම්මා පේරාදෙණිය ඉස්පිරිතාලෙට අරන් ගියා.

අපි යන අතරමගදී ඒ කියන්නේ ගැටඹේ පන්සල හරියෙදි අම්මා නැතිවුණා’’ යැයි ඇය වැඩිදුරටත් කීවාය.

ඇලිස් මාතාවගේ පුත් සම්පත් ද අප සමග මෙසේ අදහස් දැක්වීය.

‘‘සුගත් අයියා පසුගිය දවසක එයාලාගේ ගෙදරට යන පාර හදමින් හිටියා. ඒක දැකලා අම්මා කිව්වා ‘අනේ සුගත් පුතේ, පාර ටිකක් එහාට වෙන්න හදා ගනින්. මොකද මම මැරුණොත් හට් එකක්වත් ගහන්න ඉඩ තියෙන්න එපැයි’ කියලා. ඒක අහපු සුගත් අයියා කිව්වා ‘පිස්සුද නැන්දා මෙතන අපි දෙන්නටම වුණත් හට් දෙකක් ගහන්න ඉඩ තියෙනවා’ කියලා’’

(විජේරත්න හල්ඔලුව - හාරිස්පත්තුව - අරුණ)