dhananjaya-de-silva-wife

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කවුරුත් වැඩිපුරම ආදරය කරන ක්‍රීඩකයන් කීපදෙනා අතර ඔහුද එක්කෙනෙකි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ධනංජය ද සිල්වාය. කණ්ඩායම අමාරුවේ වැටෙන්නට ගිය බොහෝ තැන්හි තරගය කණපිට ගසන්ට ඔහු දක්ෂයෙකු විය. ඒ නිසාම දැන් දැන් ඔහු කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙකි. ඔහුගේ බිරිය සඳුනි නිසංසලා ය. මෙතැන් සිට ඇරඹෙන්නේ ඇය සමග කළ සොඳුරු කතාබහයි.
ධනංජය ද සිල්වාගේ ආදරණීය බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ?

මං වාසනාවන්තයි කියලා හිතෙනවා. මොකද එයා මුළු ලංකාවම ආදරය කරන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් බිරිඳ වෙන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා.

මුලින්ම කියන්න සඳුනිට ධනංජයව මුණගැහුනේ කොහොමද?

අපේ පවුලයි ධනංජයගේ පවුලයි ඒ කාලේ ඉඳන්ම හිතවත්. ඒ නිසා මං ගොඩාක් පුංචි කාලේ ඉඳන්ම ධනංජයව දන්නවා. ඒත් ලොකුවට කතාබහ කරලා නෑ. එයා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියේ. මං ගියේ ඒකේ ගර්ල්ස් කොලේජ් එකට. අපේ ඉස්කෝලෙට යන්න පොඩි කන්දක් තියෙනවා. ඒ කන්ද පාමුල එයා හැමදාම උදේට යාළුවොත් එක්ක ක්‍රිකට් පුහුණුවීම්වලට යන්න ඉන්නවා. ම දැක්කම Good Morning කියලා හිනාවෙනවා. සමහර දවස්වලට කතාබහත් කරනවා. ඉතින් කාලයත් එක්ක ඒක ආදරේට හැරුණා. ඊටපස්සේ ගෙවල්වල කැමැත්ත ඇතුව විවාහ වුණා.


කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් හේතුවක් තියෙන්න එපැයි. සඳුනි ධනංජයට කැමති වුණේ ඇයි?

මං අදටත් ආදමද කරන්නේ එයාගේ තියෙන අහිංසක ගතිගුණවලට. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් ප්‍රාර්ථනා කරන්නේ මොන වගේ කොල්ලෙක්ද ඒ හැමදේම එයාට අඩුවක් නැතුව තිබුණා. එයා මේ වෙනකොට ගොඩාක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒත් කවදාවත් ඒක ඔලුවට අරගෙන නෑ. අපි දෙන්නා ගෙදරට බඩු ගේන්න කඩේට පවා යනවා. ඒ තරමටම සරලව ඉන්න ආස කෙනෙක් ධනංජය කියන්නේ. අවංකවම එයාගේ ඒ ගතිගුණවලට මං හරි ආසයි.


ධනංජයයි ඔබයි විවාහ වුණේ හදිස්සියේ කියලත් දැනගන්න ලැබුණා. ඒක ඇත්තද?

අපි ආදරේ කරන කාලේ එකපාරටම එයාලට මාස තුනක වගේ දිග ක්‍රිකට් සංචාරයක් වැටුණා. මට හරි දුකයි. ඇයි ඉතින් ආදරේ කරන්න පටන්ගත්තා විතරනේ. ඉතින් මං ධනංජයට කිව්වා මට ඔයාව  දකින්නේ නැතුව එච්චර කල් ඉන්න බෑ’ කියලා. ඊටපස්සෙ එයා මගෙන් එහෙනම් අපි බඳිමුද කියලා එකපාරටම ඇහුවා. මට අකමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ. මමත් පැනපු ගමන් 'හරි එහෙනම් බඳිමු කිව්වා. කොහොමහරි එයා ඒ සංචාරයට යන්න කලින් අපි දෙන්නා විවාහ වුණා. ඊටපස්සේ මමත් එයා එක්ක ඒ ක්‍රිකට් සංචාරයට ගියා.


දැන් ධනංජය එක්ක ගෙවන පිවිතේ කොයි වගේද?

අපි හරිම සතුටින් ඉන්නවා. එයා මට ගොඩාක් ආදරෙයි. අපිට මාස අටක පුංචි දුවෙක් ඉන්නවා.  ධනංජය එයාට පුදුම විදියට ආදරෙයි. කොටින්ම කිව්වොත් මට දුවට සැර කරන්නවත් දෙන්නේ නෑ. දුව අඩද්දි මට කලින් නළවන දුවනෙත් එයා.  ඒ තරම් දුවට ආදරෙයි. ඇත්තටම ධනංජය හරීම අහිංසක කෙනෙක්. කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ හිනාවෙලාම තමයි.


මේ වෙනකොට ධනංජය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්. ඒ හැගීම ඔහුගේ බිරිඳ විදියට ඔබට දැනෙන්නේ කොහොමද?

ඒ ගැන නම් සතුටුයි. මොකද ක්‍රිකට් ටීම් එකක ක්‍රීඩා කරන්නේ එකොළහයි. ඒ එකොළහ නියෝජනය කරන්නේ අපේ රට. මුළු රටම එයාලා දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අතර ධනංජය ඉන්නවා කියන එක ගැන සතුටුයි. ඒ හැගීම මට වචන කරන්න තේරෙන්නේ නෑ.


ධනංජය පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට්. තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ ජයග්‍රහණය ගැන ගෙදර ඇවිත් ඔබට මොකද කිව්වේ?



සාමානයෙන් මං මැච් එකක් ඉවරවුණු ගමන් ධනංජයට කෝල් එකක් ගන්නවා. එදා දිනුවට පස්සෙත් කෝල් එකක් ගත්තා. එයා කතා කළේ කියාගන්න බැරි සතුටකින්. මොකද 2014 අවුරුද්දට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහෙම අවසන් තරගයකට ක්‍රීඩා කරන්න ලැබුණේ. ඒත් එයා ඒ සතුට මැද්දෙන් දුක්වුණා මාවයි දරුවයි ආසියා කුසලානය බලන්න එක්ක යන්න බැරිවුණු එක ගැන. ඒ ගැන නම් මටත් දුකයි.

දැන් ධනංජයට හැමෝම කියන්නේ 'කප් පිස්සා’ කියලා. ඇත්තටම ධනංජය ජයග්‍රාහී කුසලාන අත් තියාගෙන ෆොටෝස්වලට ඉන්න මේ තරම් උනන්දු මොකද?


ධනංජය පොඩි දෙයින් පවා ගොඩාක් සතුටුවෙන කෙනෙක්. ඒ නිසා එයාට තරඟාවලියක් දිනුවට පස්සේ ඒ එන සතුටත් එක්ක කුසලානය අතේ තියාගෙන ෆොටෝ ගහන්න හිතෙනවා ඇති. එයාට ඒක ලොකු දෙයක් විදියට දැනෙනවා ඇති.

ගෙදරදී එයාගෙන් මේ ගැන විහිලුවට වගේ අහලා නැද්ද?

ඇත්තටම මං අහලා නෑ. ඒත් මං ෆේස්බුක් එකේ එහෙම දැක්කා එයාට ගොඩාක් පෝස්ට් හැදිලා තියෙනවා. ඒවා දකිද්දි මටත් හිනා. මම කරන්නේ ඒවා සේව් කරගෙන ධනංජයට පෙන්නන එක. එයත් ඒවා බලලා හිනාවෙනවා. ඒත් අද වෙනකල් මං ඒ ගැන අහලා නෑ.


තරුණියෝ පිස්සු වට්ටන මනමාල හිනාවක් ගැනජයට තියෙනවා. ඒ හිනාව ගැන බිරිඳ විදියට බයක් එහෙම දැනිලා නැද්ද?

(සිනාසෙමින්) එහෙම බයක් නෑ. ඒ හිනාව මං ඉතින් හැමදාම දකින හිනාවෙන්නේ. අනික එයා කා එක්ක හිනාවුණත් ඒ හිනාවේ අයිතිකාරිය මං කියලා දන්න හින්දා කිසිම ප්‍රශ්නයක් නෑ.


ඇත්තටම ධනංජය තරුණියගේ දැඩි ආකර්ෂණයට ලක්වෙන ක්‍රීඩකයෙක්.  ඔහුගේ බිරිඳ විදියට ඒක ඔබට දැනෙන්නේ කොහොමද?


ඒක එයාගේ වාසනාව. තරුණියන්ගේ ආකර්ෂණය වුණත් කොල්ලෙක්ට ලේසියෙන් ලැබෙන්නේ නෑ. අනික එයා බැඳලා කියලා දැනදැනත් ගොඩාක් අය එයාට ආදරේ කරනවා. අපි එළියට ගියත් එයාට ආදරේ කරන අය ධනංජය ළඟට ඇවිත් කතා කරලා සෙල්ෆියක් එහෙම ගහගෙන යනවා. ඒ හැමදේම ගැන මට තියෙන්නේ සතුටක්.මොකද රටම ආදරේ කරන ධනංජය මගේ  සැමියා කියන හැගීම මට තියෙනවා.


පුංචි කාලේ ඉදන්ම ඔබ ධනංජයව දන්න නිසා එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු හැටි ඔබත් දැක්කා. ඒ මතකයත් චුට්ටක් මතක් කරමුද?

ධනංජයගේ ගම රත්මලාන. එයා මුලින්ම ඉස්කෝලේ ගියේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයට. එතැනදි තමයි එයා ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ. ඊටපස්සේ එයාගේ තාත්තා ධනංජයව උසස්පෙළ කරන්න ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කරනවා. ඒ ඉස්කෝලෙදි එයා ක්‍රිකට්වලින් දක්ෂතා පෙන්නනවා. ඒ විදියට පටන් අරන් තමයි අන්තිමේ එයා ජාතික කණ්ඩායමට එනකල් ඇවිත් තියෙන්නේ. ඒක මල් පාරකින් ආපු ගමනක් නම් නෙවෙයි. එයා ඒක හැමදාම වගේ මගෙත් එක්ක කියනවා.


ධනංජය ක්‍රිකට් ක්‍රීඩා කරන හැම තරගයක්ම බලන්න ඔබත් යනවද? නැත්නම් ටීවී එකෙන් බලනවද?

දුව නැති කාලේ නම් දිගටම වගේ තරඟ බලන්න ගියා. ඒත් දැන් නම් දුවත් එක්ක එහෙම යන්න අමාරුයි. දැන් ටීවී එකෙන් තමයි ගොඩාක් වෙලාවට බලන්නේ. ඉස්සර නම් මං ක‍්‍රිකට් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ඒත් ධනංජයව බැන්දට පස්සේ ක්‍රිකට්වලට  ලොකු කැමැත්තක් ඇතිවුණා.


ඔහු ක්‍රීඩා කරපු තරඟ අතරින් ඔබට අමතක නොවන විශේෂ තරගයක් එහෙම තියනවද?‍

එහෙම එක තරඟයක් කියලා නෑ. එයා ක්‍රීඩා කරන හැම තරගයක්ම මට විශේෂයි. එයා හොඳට ක්‍රීඩා කරපු හැම තරගයන්ම වගේ මට අමතක වෙන්නේ නෑ.



ධනංජය ක්‍රීඩකයෙක් විදියට ගොඩාක් නිවුණු චරිතයක් බව පේනවා. ගෙදරදිත් එහෙමද?

එයා කොහොමත් ටිකක් නිශ්ශබ්දව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ගෙදරදිත් එහෙමයි. හැබැයි මගෙත් එක්ක නම් විහිලුවක් එහෙම කරගෙන ඉන්නවා. කේන්ති යන්නේ නෑ. ගෙදර වැඩ පවා එයා කරනවා.


සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ ගොඩාක් කාර්යබහුල කෙනෙක්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විදියට ඒක ඔබට දැනෙන්නේ කොහොමද?


ඒක නම් හොඳටම දැනෙනවා. මං දුව ලැබෙන්න හිටපු මාස නවයටම එයාට ගෙදර ඉන්න ලැබුණේ සති දෙකයි. එක තරඟ සංචාරයක් කැන්සල් කරගෙන තමයි බබා ලැබෙන දවසේ මගේ ළඟ පවා හිටියේ. දුව ලැබිලත් සති දෙකෙන් වගේ ආයෙත් එයාට තරඟ සංචාරයකට යන්න වුණා. එහෙම වෙනකොට දුකයි. ඒත් එයා රට වෙනුවෙන්නේ එහෙම කැපකිරීම් කරන්නේ කියලා මතක් වෙනකොට ආඩම්බර හිතෙනවා.


ගෙදර ඉන්න දවස්වලට එහෙම ධනංජය කරන්නේ  මොනවද?

ගෙදර ඉන්න දවස්වලට දුව එකම තමයි. එයාට දැන් දුව තරම් ලෝකයක් නෑ. දුවට පුදුම ආදරයක් තියෙන්නේ.


ඔබ හිතන විදියට ධනංජය ක්‍රීඩකයෙක් විදියට පිටිය මැද කරන ලොකුම වරද මොකක්ද?


(සිනාසෙමින්) එකම වරද හිනාවෙන එක තමයි. කොල්ලව බේරගන්න බෑ.


බිරිඳ විදියට ඔබ ඔහුගේ දැකපු හොඳම ගුණාංගය මොකක්ද?


ධනංජය ආදරණීය සැමියෙක්. ඊටත් වඩා ආදරණීය පියෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය පියෙක් කිව්වොත් හරියටම හරි. තරඟ සංචාරයක් ගියත් ෆෝන් එකෙන් හරි හැමවෙලේම එයාට දුවව පෙන්නන්න ඕනේ.


සැමියෙක් විදියට ධනංජයගෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහුගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔහු අතින් ඉටුවනවද?


ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ කාර්යබහුල කෙනෙක්. ඒක මං තේරුම් අරන් ඉන්නේ. අපි බැන්දත් හරි එයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ මගේ එක උපන්දිනයකට විතරයි. හැබැයි එයා පුළුවන් විදියට හැමදේම හොයලා බලලා කරනවා.


ධනංජය ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට දකින්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඔහුගේ පියා. ඒත් ඔහු අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගන්නවා. ධනංජය අදටත් ඒ ගැන සංවේදී වෙනවා ඇති?


අනේ ඔව්. එයා තාත්තාට ගොඩාක් ආදරේ කළා. ඉතින් තාත්තාගේ මරණයත් එක්ක එයා ගොඩක් වැටුණා. සමහර වෙලාවට දුවව වඩාගෙන දුවට කියනවා 'ඔයාගේ සීයා තාත්තා හිටියා නම් ඔයාව බිමින් තියන එකක් නෑ” කියලා. මං හිතන්නේ හිනාවෙලා හිටියට අදටත් එයා තාත්තා ගැන දුක්වෙනවා.


ඔහුට පියා නැතිවුණු ආරංචිය ආපු වෙලාවේ ඔබත් එතැන හිටියා නේද?

එදා ධනංජය මාව බලන්න ගාලේ අපේ ගෙදර ඇවිත් හිටියේ. ඊට පහුවදා එයාට විදෙස් සංචාරයකුත් තිබුණා. ඔය අතරෙයි එයාට තාත්තා නැතිවෙලා කියන ආරංචිය ආවේ. එදා එයාට ඒක දරාගන්න බැරිවුණා. ගොඩාක්වෙලා යනකල් අපි කවුරුත් එක්කවත් කතා කළේ නෑ. මට එයාගේ හිත හදන්න ගොඩාක්  අමාරුවුණා. ඒත් තාත්තා වෙනුවෙන් එයා ශක්තිමත්ව ඉන්න ඕන කියන එක එයාම  හිතුවා. මමත් කියන්න ඕන හැමදේම කිවා.


ධනංජය ගැන අමතක කරන්න බැරි මතකයක් කියලා. එහෙම සඳුනි ළඟ නැද්ද?

ඉස්කෝලේ කාලේ වගේම අපි දෙන්නා ආදරේ කරපු කාලේ හැම දවසක්ම වගේ අමතක කරන්න බෑ. අද ඊයේ වගේ ඒ දේවල්  මට මතකයි. ඒ වගේම , බැදපු දවස, බබා ලැබුණු දවසත් අමතක කරන්න බෑ.


අවසානයට තිබුණු ශ්‍රී ලංකා-ඕස්ටේ‍ලියානු විස්සයි විස්ස තරගාවලියේ අත්තිම තරගය වේලාවේ අපි දැක්කා ලසිත් මාලිංග ධනංජය ළඟට ගිහින් ටිකක් සැරෙන් කතා කරනවා. ඇත්තටම එදා මාලිංග ධනංජයට මොනවද කියලා තිබුණේ?

ඒක නම් මං අහලා නෑ. මොකද ඒ තරඟය මට බලන්න ලැබුණේ නෑ. ඒ කාලේ දුව පුංචියි. ඉතින් එයාගේ වැඩත් එක්ක ඒ තරඟය මගඇරුණා. ඒත් ෆේස් බුක් පෝස්ට්වලින් එහෙම මං ඒක දැක්කා. අනිවාර්යයෙන්ම එදා මාලිංග අයියා ජයග්‍රහණය වෙනුවෙන් උපදෙස් තමයි දෙන්න ඇත්තේ.



ඉදිරියේදී ලෝක කුසලානයක් එනවා. ධනංජය ඒ ගැන ඔබත් එක්ක කතා කරලා නැද්ද?


එයා ඒ වෙනුවෙන් ගොඩාක් පුහුණුවීම් කරනවා. එකදිගට මහන්සි වෙනවා. ආසියා කුසලානය දිනපු එකත් එක්ක ධනංජය විතරක් නෙවෙයි මුළු කණ්ඩායමම ලෝක කුසලානය ගැන ලොකු විශ්වාසයකින් ඉන්නේ. ධනංජය වුණත් නිතරම කියන්නේ හොඳ සැලසුමක් එක ක්‍රීඩා කළොත් මෙදා සැරේ ලෝක කුසලානය දිනන්න බැරිකමක් නෑ කියලා.


අවසාන වශයෙන් ධනංජයගේ බිරිඳ විදියට ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ දකින්න කැමතිම හීනයක් තියෙනවද?


මං ආසයි ධනංජය ඇතුළු කණ්ඩායම ටෙස්ට් ලෝක කුසලානයක් දිනනවා බලන්න. මොකද මං ටෙස්ට්වලට හරි ආසයි. ටෙස්ට් තරගවලදි ධනංජය බැට් කරනවා බලන්න පුදුම ආසාවක් තියෙන්නේ. මොකද එයා ගහන ලස්සන පහරවල් ටිකක් තියෙනවා. එහෙම දිනුවොත් එදාටත් එයා ඒ කුසලානය අත්තේ තියාගෙන ෆොටෝ ගහයි. අන්න ඒ ෆොටෝ එක දකින්න තියෙනවා නම් මට ඊට වඩා දෙයක් නෑ.


රුවන් එස්.සෙනවිරත්න (Dharanee)