Nandikadal,-Nayaru-and-Sambalativ-lagoons-are-protected-zones

නන්දිකඩාල්, නයාරු හා සාම්බලතිව් යන කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය වී ඇතැයි වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ඇතැම් පිරිස් විවිධ පාර්ශ්වවල සහය ඇතිව කළපු ගොඩ කරන බැවින් මේ අයුරින් වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමෙන් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා පවතින නෛතික තත්ත්වයන් ද ශක්තිමත් කිරීමට මේ තීරණය ගත් බව ද ඇමතිවරයා සඳහන් කළේය.



ත්‍රිකුණාමලයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙන බව ද ඔහු කීය.

මේ වන විටත් අපද්‍රව්‍ය පිරී ඇති සාම්බලතිව්, නයාරු සහ නන්දිකඩාල් කලපු පිරිසුදු කිරීම සඳහා ත් ඒවා වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ත් ඉකුත් දා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පවත්වා ඇත.

එමෙන් ම, ජෛව විවිධත්වයෙන් ඉහළ සාම්බලතිව් කලපුව වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය ද ලැබී ඇති නිසා ඒ සඳහා වන කටයුතු කඩිනම් කරන්නැයි ද අමාත්‍යවරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.



එමෙන් ම, නයාරු සහ නන්දිකඩාල් කලපු විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා අපවිත්‍ර වී ඇති බව සහ විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් කලපු ගොඩවී කඩොලාන සහ කලපු ආශ්‍රිත ජීවීන් රැසක් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති බව එම සාකච්ජාවේදී අනාවරණය වී ඇත.

ඇතැම් පුද්ගලයන් එම කලපු ගොඩ කර ඉඩම් අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන බවට ලද තොරතුරු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබේ.

මේ හේතුවෙන් එම කලපු දෙක ආරක්ෂා කර ගැනීම ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කොට ඇත.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් හා ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායකගේ ප්‍රධානත්වයෙන් වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නියෝජිතයන්ගෙන් සමන්විතව මේ කමිටුව පත් කර ඇති අතර එළඹෙන සති දෙක ඇතුළත ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි ද ඇමතිවරයා දැනුම් දී තිබේ.