Thambuttegama-incident-police

තඹුත්තේගම නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයකු රැගෙන ආ රුපියල් දෙකෝටි විසිතුන්ලක්‍ෂයක මුදලක් ඊයේ (26 දා) මහ දවාලේ බැංකුව ඉදිරිපිටදීම කොල්ලකා පලා යෑමට සැරසුණ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනා මෙල්ල කරගත් තඹුත්තේගම පොලිසියේ නිර්භීත සැරයන්වරයෙක් එම මුදල් තොගය ද සමඟ සැකකරුවන් දෙදෙනා අල්ලා පොලිසියට භාරදීමට සමත් වී තිබේ.


මෙම කොල්ලය මෙහෙයවා ඇත්තේ තඹුත්තේගම නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවක කලක් ආරක්‍ෂක නිලධාරියකු ලෙස සේවය කළ 48 හැවිරිදි පුද්ගලයකු සහ 50 හැවිරිදි තවත් පුද්ගලයකු විසිනි.



තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ තොග සහ සිල්ලර වෙළෙඳාමේ නිරත කෝටිපති ව්‍යාපාරිකයකු සිය මෝටර් රථයෙන් නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවේ මුදල් තැන්පත් කිරීමට යමින් සිටියදී යතුරුපැදියක නැගී ලුහුබැඳ පැමිණ බැංකුව ඉදිරිපිටදීම මුදල් මල්ල කොල්ලකා ඇත.

මේ මොහොතේ එම කොල්ලය සිදුවන මාර්ගයේ මුර සංචාරයේ නිරතව සිටි තඹුත්තේගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් බුද්ධි කුමාර  මහතා මෙය දැක වහාම ක්‍රියාත්මක වී කොල්ලකරුවන් අසලට පැමිණ ඔවුන් අත තිබූ ගිනි අවිය උදුරා ඔවුන් සමඟ පොරබදා සල්ලි මල්ල රැකගෙන තිබේ.

එහිදී ව්‍යාපාරිකයා ද පොරබදමින් කොල්ලකරුවන් මෙල්ල කරගෙන ඇත.

තඹුත්තේගම නගර මධ්‍යයේ දෙනෝදාහක් දෙනා ගැවසෙමින් සිටි ඊයේ මහ දවාලේ බැංකුව ඉදිරිපිට සිදුවූ මෙම කොල්ලය චිත්‍රපට ජවනිකාවක් බවට පත්වෙද්දී අහල පහල පිරිස් ද පැමිණ කොල්ලය ව්‍යර්ථ කිරීමට එකතු වී තිබේ.



සිද්ධියෙන් පසු මුදල් මල්ල, කොල්ලය සඳහා යොදාගත් ෂොට්ගන් වර්ගයේ ගිනි අවිය, ඊට යොදන උණ්ඩයක්, මන්නයක්, ජංගම දුරකථනයක් හා කොල්ලයට යොදාගත් යතුරුපැදිය ද නඩු භාණ්ඩ ලෙස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන පැමිණි රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයක මුදල ද තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා මුදල් තැන්පත් කිරීමට බැංකුවට යන එන බව එම බැංකුවේ රාජකාරි කළ ආරක්ෂක නිලධාරියා දිගු කලක සිට දැනගෙන සිට ඇති අතර ඔහු විසින් මෙම කොල්ලය සැලසුම් කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

මහ දවාලේ තඹුත්තේගම නගර මධ්‍යයේ සිදුවූ මේ මහා මුදල් කොල්ලය දුටු පොලිස් සැරයන්වරයා නිර්භීතව, බුද්ධිමත්ව ක්‍ෂණික පියවර ගත් නිසා මංකොල්ලය වැළැක්වීම පොලිසියට අඩම්බර විය හැකි කාරණයක් යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිද්ධිය වන අවස්ථාවේ නගරයේ සිටි ජනතාව භීතියට පත් කරමින් සිදුවූ මෙම දර්ශන ඇතුළත් සීසීටීවී දර්ශන ද පොලිසිය නිරීක්ෂණය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.