A-Kurunegala-school-student-died-after-falling-into-a-drain-while-coming-home-from-school-amid-heavy-rain

අද දින අධික වර්ෂා සහිත කාලගුණය මැද පාසල් ඇරී නිවසට යමින් සිටි 14 හැවිරිදි සිසුවෙකු පාරේ වාහනයකට ඉඩ දෙන්නට පැත්තට ගමන් කළ අවස්ථාවක කාණුවක වැටීමෙන් එහි සිරවී අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ සිදුවීමක් කුරුණෑගල වැහැර ප්‍රදේශයෙන් වාර්තා විය.


අද (සැප්. 5) දහවල් 2.00ට පමණ පාසල නිමා වී කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයක් ඔස්සේ සිය නිවසට යමින් සිටියදී සිසුවා මෙම අනතුරට ලක්විය.
මාර්ගයේ පටු ස්ථානයකදී වාහනයකට ඉඩ දීම සඳහා මාර්ගය අයිනේ කාණුවේ ගැට්ට මතට ගොඩවූ බවටත් එම අවස්ථාවේ ඔහුගේ පය ලිස්සා කාණුව තුළට ඇද වැටී ඇති බවත් මේ වනවිට ලැබෙන තොරතුරු අනාවරණය කරයි.


කුරුණෑගල මහ නගර සභාවේ සේවකයින්, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා එම පාසල් සිසුවා ගොඩටගන්නට වෙහෙසක් දැරුවේ අධික වැසි මැදයි.
සිසුවා කාණුවේ වැටුණ පසු අධික ජල පහර සමග කානුවේ කොන්ක්‍රීට් ආවරණ සහිත පෙදෙසට තල්ලූවී ගොස් ඇති අතර බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කාණුවේ කොන්ක්‍රීට් තට්ටු ඉවත් කර සිසුවා ගොඩ ගන්නාවිට ඔහු ජලය සමග ජීවිතය පොර බදා බරපතළ තත්ත්වයේ සිටි බව පැවසිණි.පසුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.