yupun-abeykoon

එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වෙන 22වැනි පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තු අධිවේගයෙන් ඔසවා තැබූ සුපුන් අබේකෝන් මීටර 100 තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. මීටර 100 මූලික වටයේ තරග (Heats) ඊයේ (02දා) පැවැති අතර, එහි 06වැනි මූලික තරගයට සහභාගි වූ යුපුන්, තත්පර 10.06ක දක්‍ෂතාවක් දක්වමින් එම තරගයේ පළමුවැනියා ලෙසින් තරගය අවසන් කළේය. මෙය මූලික වටයේ තරග අවසානයේදී ක්‍රීඩකයෙකු දැක්වූ හොඳම කාලය වන අතර,

එය පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ මූලික වටයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලයද වෙයි. යුපුන් විසින් අම්බවා යනු ලැබුවේ 1994 වසරේ කැනඩාවේ. පැවැති ක්‍රීඩා උළෙලේදී එරට ජින් එල්බට් (තත්. 10.10) වාර්තතා කළ කාලයයි. දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා මෙන්ම තත්පර 10ට (තත්. 9.96) අඩුවෙන් මීටර 100 ඉසව්ව  අවසන් කළ පළමු හා එකම ක්‍රීඩකයා සුපුන් වන අතර, ඔහු සහභාගිවන අවසන් පූර්ව වටයේ තරග අද (03දා) පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර කාත්තා මීටර් 800 තරග ඉසවේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරන්නට 05වැනි ස්ථානයෙන් සෑහීමට සිදු විය. කෙසේ නමුත් ඇය එහිදී මිනිත්තු 2.01.20ක කාලයක් වාර්තා කළ අතර,

එය නව ශ්‍රී ලංකා වාර්තාවක් විය.

සත්කාරක එංගලන්තයට අභියෝග කරමින් ඕස්ට්‍රේලියාව තවමත් පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටියි. මෙරට වේලාවෙන් ඊයේ (02දා රාත්‍රී 10.00වන විට ඔවුන් රන් පදක්කම් 3ක් සමග සමස්ත පදක්කම් 78ක් හිමිකරගෙන සිටියේය. එංගලන්තය මෙහි  දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ රන් පදක්කම් 24ක් සමගින් පදක්කම් 63ක් දිනා ගනිමිනි. එක් ලෝකඩ පදක්කමක් පමණක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවට මෙම සටහනේ හිමිව තිබුණේ 24වැනි ස්ථානයයි.


(විශ්ව මුදියන්සේ)