sobitha-thera-speaks

ජනාධිපතිවරයාට සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්නට අවංක උවමනාවක් ඇත්නම් විවිධ චෝදනා නගමින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහාම නවතා දැමිය යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී පැවසූහ. උන්වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම අදහස් දැක්වූ අතර, එම මාධ්‍ය හමුව ඊයේ (04දා) ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම  විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ,



 "ජනතාවට සහන සැලසීම සඳහා රටට දේශපාලන ස්ථාවරත්වයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. එවැනි පල්සරයක් රට තුළ නිර්මාණය වුවහොත් පමණයි ජාත්‍යන්තරයේ උදව් උපකාර ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සියලු පවලට ආරාධනා කරමින් අනෙක් පැත්තෙන් අරගලකරුවන්ට විවිධ චෝදනා එල්ල කරමින් ජනතා මනයක් කරගෙන යමින් තිබෙනවා. මර්දනය කරමින් රටේ ප්‍රශ්න විසඳීම පසෙකලා සැවොම එකමුතුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගාගෙන රටේ දැවෙන ප්‍රශ්නවලට පළමුව විසඳුම් ලබාදීලා ඉත්පසුව මහ මැතිවරණයක් ජනතාවට ලබාදීමයි කළ යුතු වන්නේ. ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවංක පියවරක් ගන්නවා නම් වහාම ජනතා මර්දන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුයි.



එකපැත්තකින් සර්වපාක්ෂික ආණ්ඩුවලට ආරාධනා කරමින් අනෙක් පැත්තෙන් අරගලකරුවන් මර්දනය කිරීම වැරදියි. එසේ සිදු කරනවා නම් එය ජනතාව  මුළාවට පත් කරමින් සිදුකරන මුසාවක් වගේම වංචනික ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ. එම නිසා දෙබිඩි පිළිවෙත්, රටට අහිතකර බලපෑම් ඇතිවෙන තත්වයක් උදා කරාවි. පැවැති අර්බුදකාර් තත්වය යම් හෙයකින් අඩු වෙමින් පවතින අවස්ථාවක මර්දනකාරි පිළිවෙතක් ආරම්භ කිරිම අයහපත් ප්‍රතිඵල ඇති වන්නක්. ජනතාව අරගලවලට තල්ලු කළේ අදෘශ්‍යමාන බලවේග විසින්  නොවෙයි රටේ පැවැති ආණ්ඩුවල සිටි දේශපාලකයන් විසින්මයි. එම නිසා එයට වගකිවයුතු වන්නේ ජනතාව අරගලකරුවන් බවට පත්කළ දේශපාලකයන් මිසක් අරගලකරුවන් නෙමෙයි යනුවෙන් කියා සිටියහ.