power-bill-court

අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන බවත්, මෙහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල අමාත්‍යශය, විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම නම් කරන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මීට අදාළ නීති උපදෙස් ලබාගනිමින් අදාළ කටයුතු සිදුකිර්ම සඳහා අවශ්‍ය තොරතුරු  නීතිඥයන්ට මේ වනවිට ලබාදී තිබෙන බවද එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය. විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළද, කර්මාන්තකරුවන් විසින් සිදුකළ යෝජනා සැලකිල්ලට ගෙන නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

මේ නිසා දේශීය වශයෙන් ක්‍රියාත්මක වන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලක්‍ෂ 12කට ආසන්න ප්‍රමාණයකට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත්, ඒකක 90න් පසු මෙතෙක් ඒකකයකට ගෙවූ රුපියල් 27ක මුදල් රුපියල් 50ක් බවට මේ වනවිට පත් වී තිබෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම 75%කින් විදුලි ගාස්තුව ඉහළ ගොස් තිබෙන බවට පෙන්වා දුන්නත්, ඒකක 0 සිට 30 දක්වා වූ විදුලි බිල 264%කින් හා 31-60 අතර ගාස්තුව 211% කින් හා 91-120 අතර ගාස්තුව 79%කින් හා 121-180 අතර ගාස්තුව 79%කින් ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා පැවසීය. ජනතාවට හා කමාක්තකරුවන්ට ඉදිරි විදුලි බිල ලැබුණු පසු තරු පෙනෙන බවත්,  මේ නිසා විදුලි බිල අඩු කර ගැනීම සඳහා ගෘහස්ථ පාර්භෝගික ජනතාවත් අදාළ ඉල්ලීම් සිදුකළ යුතු බවත් සඳහන් කළ සභාපතිවරයා,

කර්මාන්තකරුවන් හා ගෘහස්ථ පාරිභෝගික ජනතාවගේ අයිතීන් රැකගැනීම සඳහා තම සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කටයුතු කරන බවද සඳහන් කළේය. විදුලි බිල ඉහළ දැමීම නිසා සියලුම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුව තිබෙන බවත්, මේ නිසා ජනතාවට නිවසේ විදුලි බීල ගෙවීමේදීත් භාණ්ඩ මිලදී ගැනීමේදී යන අවස්ථා දෙකේදී විදුලි බිල වැඩිවීම ගෙවීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.


(එච්.අයි. තුෂාර)