
මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් පෙරේදා (29) රාත්‍රි 9.30 ට පමණ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව ද පොලිසිය සඳහන් කරයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැලණි ගග මෝල පාරේ නිවසක තාවකාලික පදිංචිව සිටි අසිත චතුරංග (26) හෙවත් "අලිවත්තේ අසිත" නමැත්තා බව ද පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ පුද්ගලයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ඔහු මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බහි වූ පුද්ගලයකු බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහු පෙරේදා රාත්‍රියේ කැලණි ගග මෝල පාරේ නිවෙසක් ආසන්නයේ රැඳී සිටියදී එම වෙඩි තැබීමට ලක් වී ඇති බව පොලිසිය කියයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා රාත්‍රියේම මියගොස් ඇත. කිසියම් කණ්ඩායමක් මන්ද්‍රව්‍ය ලබාදෙන බවට පොරොන්දු වී මොහු කැලණි ගඟ මෝල පාරට කැඳවා මෙලෙස වෙඩි තබා ඇති බවට පොලීසිය සැක කරයි.
වෙඩික්කරුවන් පිස්තෝල මැගසිනය අවසන් වන තෙක්ම උණ්ඩ 10ක් පමණ අසිත වෙත එල්ල කර ඇති බව ද පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර හටගත් ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval