mano-ganeshan-speaks

විදෙස්ගත ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව සමග සාකච්ඡා කර මෙරටට ඩොලර් ගෙන්වීමට තමන් හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පසුගියදා පැවැසීය. එමෙන්ම පසුගිය සමයේ රජය විසින් තහනම් කර තිබූ දෙමළ සංවිධාන 6ක එම තහනම ඉවත් කිරීම සුබදායී පියවරක් බව ද ඔහු පවසයි. ඩයස්පෝරාවෙන් මුදල් ගෙන එන්නේ කෙසේද යන්න ගැන මනෝ ගනේෂන්  පුවත්පතකට මෙසේ කියා තිබේ.


පසුගියදා කොටි සංවිධානයට ආධාර අනුබල දීම, මුදල් රැස්කිරීම වැනි චෝදනා එල්ල වී අසාදු ලේඛන ගතකර තිබූ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල සංවිධාන හයක් අසාදු ලේඛනයෙන් ඉවත් කළා. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල ඇතැමුන් කියනව...



නැහැ... එහෙම තර්ජනයක් නෑ. තර්ජනයක් නැති නිසානේ ඉවත් කරල තියෙන්නේ. මේ තීරණය ගත්ත ප්‍රමාද වැඩියි. දැන් යුද්ධය අවසන්නේ. එල්. ටී. ටී. ඊ. සංවිධානය අවසන්. ඒ කාලයේ ජනාධීපතිවරයා, හමුදාපතිවරයා රටට, ලෝකයට මේ ගැන කියලා ඉවරයි. අද උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව ළඟට ගිහිල්ලා වෙනම රටක් ගැන කතාකරන්න බැහැ. මොකද ඒ වගේ වෙන්වෙලා ඉන්න ඒ ජනතාව ඒ තරමටම අප්පිරියයි. පරණ මතය අයින් කරලා අලුත් ඇසින් බලන්න මේ දිහා. මේ ඩයස්පෝරාවේ ඉන්නේ ලංකාවේ ඉන්න බැරුව ගිය මිනිස්සු. ඒ අසමගිය නිසා තමයි යුද්ධයක් ඇති වුණේ. දකුණෙත් පනස්දහසකට අධික සිංහල තරුණයෝ අරගල කළා කියලා උස්සං ගිහිල්ලා මැරුවනේ. පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවනේ. ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීරවත් මැරුවනේ. මේ තත්ත්වය ටිකක් තේරුම් ගන්න. මේ රටේ දැන් තියෙන්න ඕන ශ්‍රී ලාංකිකත්වයක් විතරයි.

අපි අහලා, දැකලා නෑ මේ ඩයස්පෝරාව දකුණේ ජනතාවට උදව් කරනවා. ඇයි ඒ ?

මෙතැන උතුරු නැගෙනහිර කියලා වෙනසක් නෑ. මේ අය කැමතියි රටට උදව් කරන්න. ඒ වෙනුවෙන් ඒ අයගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕන. ඒ සදහා සාකච්ඡා කරන්න පුළුවන් .

දෙමළ ජාතික සන්ධානය දෙමළ ඩයස්පෝරාවෙන් ප්‍රතික්ෂේප වූ පාර්ශ්වයක් ඔබ දෙමළ ඩයස්පෝරාවෙන් ඩොලර් ගේන්න මූලිකත්වය ගෙන කටයුතු කරනවා කියලා කිව්ව. කොහොමද දැන් ඒ වැඩපිළිවෙළට සූදානම්ද?

ඩයස්පෝරාව කියන්නේ ලංකාවෙන් පිට ජීවත්වන දෙමළ අය විතරක්ම නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් කියන හැමෝම ඉන්නවා. මම කතාකරන්නේ ඒ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ගැනයි. යුරෝපා රටවලත්, ඇමරිකානු රටවලත් සිංහල අය ගොඩක් ඉන්නවා. අපි ඇමරිකන් ඩොලර් බිලියන 52ක දරාගන්න බැරි ණය බරක ඉන්නේ. අපි ලෝකය වටේ ගිහින් ණය ඉල්ලනවා. අයි. එම්. එෆ්. සහය ඉල්ලනවා. හැබැයි මේ අර්බුදකාරී තත්ත්වයේදී අපිට සැලකිය යුතු පමණින් ණය දීල තියෙන්නේ ඉන්දියාව විතරයි.

කන්නේ, බොන්නේ බෙහෙත් ගන්නේ, තෙල් ගන්නේ ඒ ණය සල්ලිවලින්. අපිට තියෙන විසඳුම තමයි පිටරවල ජීවත් වන අපේ ශ්‍රී ලාංකිකයින්ගෙන් උදව් ගැනීම. ඒ වෙනුවෙන් ඒ අයගේ නැතිවී ගිය විශ්වාසය යළි ඇති කරන්න ඕන.

දෙමළ ඩයස්පෝරාව ජාතික අසමගියට උත්තර බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්නය ශ්‍රී ලාංකිකත්වයකින් විසඳාගමු කියන උත්තරය ඒ අයට ලබාදෙන්න ඕන. සිංහල ඩයස්පෝරාව බලාපොරොත්තු වෙන්නේ ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් ඒ මෙරට හොරුන්ගේ අතට නොයෑමයි. ඒවා පදනම් කරගෙන කමිටුවක් හදලා ඒ කමිටුව හරහා ආණ්ඩුව ලිඛිතව ශ්‍රී ලාංකික ඩයස්පෝරාව වෙත පොරොන්දුවක් දුන්න නම් ඒ පොරොන්දුවත් අරගෙන තවත් මන්ත්‍රී කණ්ඩායමක් අරගෙන ගිහිල්ලා ඩයස්පෝරාවත් එක්ක සාකච්ඡා කරන්න මම සූදානම්. රට ගොඩනැගීමේ අරමුදලක් හදන එකයි මේ වෙලාවේදී වැදගත් වෙන්නේ. අපේ ලොකු මුදල් පෙට්ටගමක් තියෙනවා. ඒවා නිකං ගන්න බැහැ පොරොන්දු හා විශ්වාසය දෙන්න ඕන.


යහපාලන ආණ්ඩුව කාලයේදී ජාතික සංහිඳියාව වෙනුවෙන් කියල යම් යම් තීන්දු තීරණ ගත්ත. විශේෂයෙන් ජාතික ගීයත් දෙමළ භාෂාවෙන් ගායනා වුණා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නැවතත් එය නවතා සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළා. නැවතත් එළැඹෙන නිදහස් උත්සවයෙදි ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න තීරණය වෙලා. ඒ ගැන මොකද හිතන්නේ...?

1948 පෙබරවාරි 04 පළමු නිදහස් දින උත්සවයේදී සිංහල හා දෙමළ භාෂා දෙකින්ම කියැවුණා. යහපාලන ආණ්ඩුව හදන්න පුරෝගාමී වුණ දේශපාලකයෙක් තමයි මම. මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිතුමයි, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමායි ඒ කාලයේ කැබිනට් අනුකමිටුවක් පත්කළා. ඒ කමිටුවේ සභාපති රනිල් වික්‍රමසිංහ. කැඳවුම්කරු මම. මේ කමිටුවේදී තමයි ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න යෝජනා කළේ. ඒක යටගහන්න ඒ ආණ්ඩුවේත් ඇමැතිවරු යෝජනා කළත් මම ඊට විරුද්ධව නැගී සිටියා. ඒ අනුව තමයි 2015 නිදහස් උළෙලේදී ජාතික ගීය ප්‍රථමයෙන්ම දෙමළෙන් ගායනා කළේ. මේකට සියලු ජාතීන්ගේ ලොකු ප්‍රසාදයක් ලැබුණා. දැන් නැවතත් අපිට ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න පුළුවන්.

(සාකච්ඡාව එස්. අස්ලම් - අරුණ)