
ගුවන් යානයකදී හඳුනාගත් පුද්ගලයකුට අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවකු දී පලාගිය බව කියන කාන්තාව ඊයේ (29) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක බව ද පොලීසිය සඳහන් කරයි. සැකකාර කාන්තාව සිය නිවෙසේ සිටියදී පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය. ඇය තවත් දරුවන් සිටින විවාහක කතක් බවට පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් කීය.සෞදි අරාබියේ අවුරුදු 10ක් පමණ සේය කර ඉකුත් 25 වැනිදා දිවයිනට පැමිණි ශාන්ත අප්පුහාමි නමැති අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු සෞදි අරාබියේ සේවය කර මෙරටට එමින් සිටියදී, අවුරුදු දෙකක් පමණ වයසැති පිරිමි දරුවකු සමග එම ගුවන් යානයේම පැමිණි කතක හඳුනාගත් බවත්, කටුනායක ගුවන්තොටුපොළේදී ඇයට ද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින්, තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි පොලීසිය පවසයි. කටුනායක සිට කළුතර දක්වා පැමිණෙන අතරතුර කළුතර නගරයේදී දරුවාට සිසිල් බීම බෝතලයක් සහ චොකලට් එකක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී කාන්තාව වාහනයෙන් බැස ගිය බවත්, ඇය බොහෝ වෙලාවක් යනතෙක්ම නොපැමිණි බවත්, ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය කියයි.
සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරික්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි, කළුතර දකුණ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරික්ෂක නුවන්ති විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු කෙරේ.
සුමිත් පොතුපිටිය
Comments
Post a Comment
Your comment will be visible after approval