jackson-mahinda

සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් සදහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් සිටියදී අලි මාරුවක් සිදුවන පාරක අනාරක්ෂිත ලෙස වාහනයක් ධාවනය කරන්නට ගොස් අලියෙකු හැපී බරපතල තුවාල ලැබූ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි තවමත් කොළඹ ජාතික රොහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
අනතුර නිසා ඔහුගේ ගෙලෙහි ඇට බිදී ගිය අතර ඒ වෙනුවෙන් කළ ස්නායු සැත්කම යථා තත්වයට පත්වන්නට දිගු කලක් ගතවනු ඇති බවට හෝ එසේ නොවේ නම් ඔහු ස්ථිර ආබාධ තත්වයකට පත්වනු ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවා තිබුණි.
ජැක්සන් ඇන්තනි ප්‍රවීණ කලාකරුවාණන්ගේ සුවය පතා සෙසු කලාකරුවන් අවස්ථා ගණනාවකදී බෝධිපූජා ඇතුළු විවිධ ආගමික වතාවත් සිදුකරමින් ඔහුගේ සහයට පෙනී සිටින ලදි.


මේ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැයි 09 කලබලයෙන් පසු බලය අතහැර සිටි කාලයේ ජුලි මස 2 වැනිදා මෙම අනතුර සිදුවීම නිසාදෝ ජැක්සන් ගැන සොයා බලාතිබුනේ නැති නමුත් මේ වනවිට අරගලකරුවන් ගේ පීඩනයෙන් තරමක් මිදී ඔහුට එළිපහලියට බසින්නට හැකි යම් වාතාවරණයක් සැකසී ඇති නිසාදෝ මහින්ද රාජපක්ෂ ඊයේ (11) පෙරවරුවේ ජාතික රෝහලට ගොස් ජැක්සන්ගේ සුව දුක් සොයා බලා තිබේ.
තවමත් කතාකිරීමට අපහසු මට්ටමක පසුවන ජැක්සන් වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය මහින්ද සමග පිලිසදරේ යෙදී ඇති අතර එම අවස්ථාවේ මහින්ද පවසා ඇත්තේ ‘ජැක්සන් හොඳ කරන්න ඕනම දෙයක් කියන්න මං කරන්නම්‘ ලෙසිනි.

මහින්ද රාජපක්ෂගේ යුද ජයග්‍රහණයෙන් පසු ඔහුට දෙවතාවක් බලයේ සිටින්නට අවශ්‍ය ප්‍රතිරූපය සැකසීමේදී කලාකරුවන් අතරින් ප්‍රමුඛතම කාර්යය ඉටු කළ පුද්ගලයෙකු ලෙස ජැක්සන් ඇන්තනි ගැන සදහන්වේ.
‘රණවිරු රියල් ස්ටාර්‘ රියැලිටි තරගයේ විනිසුරුවරයෙකු වශයෙන් ජැක්සන් කටයුතුකරමින් සිටියදී එම වැඩසටහන සමාරම්භයට මහින්ද රාජපක්ෂ පැමිණි අවස්ථාවේ මහින්ද යනු බුදු රජාණන් වහන්සේටත් නෑකමක් ඇති පුද්ගලයෙකු බවට අධිවර්ණනාවකින් යුතුව කතාවක් කළ අතර එය ඒ දිනවල ආන්දෝලනයට තුඩුදුන්නේය.
ඒ දිනවල රටේ කථාබහට ලක්වන ප්‍රශ්න වලදී මහින්දගේ පැත්තේ සිට අදහස් පළකරන කථික කලාකරුවා වූයේද ජැක්සන්ය.


පසුකාලීනව ජැක්සන් ඇන්තනිට අයත් බව කියන ‘හෙලන්කා‘ නමැති දැන්වීම් හා ප්‍රවර්ධන කටයුතු සිදුකරන ඒජන්සියට රජයේ වැඩ විශාල වශයෙන් ලැබුණ අතර ඇතැම් උත්සව කටයුතු වෙනුවෙන් කෝටි ගණන් අරමුදල් යොමු කර තිබුණි.
කලාකරුවන් අතර ප්‍රකට මතයක්ව පැවතියේ ‘ජැක්සන් මහින්දට කඩේ ගිහින් හරියට හම්බ කළා‘ ලෙසිනි.

කෙසේ වෙතත් 2019 ගෝඨාභය ජනපතිකරවන අවස්ථාව වනවිට ජැක්සන් එම පක්ෂපාතිත්වයෙන් මිදී සිටි අතර තමන් රාජපක්ෂවරුන්ගේ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවන බවට දන්වා සිටියේය.

මීට මාස කිහිපයකට පෙර අරගලය ඇරඹූ අවස්ථාවේ අප්‍රෙල් මාසයේ සිය සමාජ මාධ්‍යය ඔස්සේ විශේෂ සටහනක්ද යොදමින් ජැක්සන් යළි මතක් කර සිටියේ තමා කිසිසේත් රාජපක්ෂට ‘කඩේ යන්නෙකු‘ නොවන බවයි.

මේ කෙසේ වෙතත් ජැක්සන්ට අනතුර සිදුවූ පසුව ඒ කාලයේ රාජපක්ෂ විරෝධය පැතිරෙමින් තිබූ සමාජ මාධ්‍ය තුළ ජැක්සන්ට එරෙහිව පහර වැදුණ අතර ජනතාව නොමග යවන ප්‍රතිරූප තනන්නෙකු ලෙස ඔහුව උදහසට ලක්විය.
එම කතන්දර වලට එරෙහිව ජැක්සන්ගේ දියණියද පිලිතුරු බැඳ තිබුණි.

මහින්ද රාජපක්ෂ ජැක්සන්ගේ ලෙඩ බලන්න යන්නේත් ඕනම උදව්වක් කරන්නම් කියන්නෙත් මේ පසුබිමේය.