Kayleigh-Fraser-sri-lanka-police

ගාලුමුවදොර අරගලයට සහාය දක්වමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ දර්ශන යොමුකළ ස්කොට්ලන්ත ජාතික වෛද්‍ය සිසුවියක සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පොලිසිය කියයි.
වෛද්‍ය නේවාසික වීසා මත මෙරටට පැමිණ ඇති බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන ඇය Kayleigh Fraser නම් වන අතර
ඇය පරිහරණය කරන kayzfraser නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හා ෆේස්බුක් ගිණුමක් මගින් අරගලය සම්බන්ධ වරින්වර යාවත්කාල කිරීම් සිදු කරමින් එය ඉහළින් අගය කරමින් වාර්තා පළ කර තිබුණි.
පොලිසිය තර්කකරන්නේ අධ්‍යයන වීසා මත ලංකාවට ආ කෙනෙකු මේ ආකාරයට හැසිරීම වරදක් බවයි.
අරගලයට සහාය දක්වමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ දර්ශන රැසක් යොමු කර ඇති ඇය ශ්‍රී ලංකාවට සහ ආරක්ෂක අංශ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු කරමින් රට අපකීර්තියට පත් කිරීමට උත්සාහ කර ඇතැයිද පොලිසිය චෝදනා එල්ල කරයි.
පොලිසිය පවසන්නේ අරගලකරුවන්ගේ හිසට ආරක්ෂක අංශ පිස්තෝල එල්ල කරන බව කියා හඬා වැටෙමින් ඇය එක් වීඩියෝවක් පළ කළ බවයි. එසේම, බත්තරමුල්ලේ හමුදා කඳවුරු පද්ධතිය මෙවැනි රටකට අවශ්‍ය නොවන බවත්, රට වෙනස් කිරීමට එකතුවන ලෙසත් බටහිර රටවලට කියමින් තවත් වීඩියෝවක් පළ කළ බව පොලිසිය පවසයි.

තෙරපිවරියක් ලෙස වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ 2019 අගෝස්තු 14 දා සිට මෙම බ්‍රිතාන්‍ය කත වීසා දිගු කරමින් මීගමුව හා මාලබේ රැඳී සිටින බවත් පොලිසිය තොරතුරු ගවේෂණය කරගෙන තිබේ.

මෙම වෛද්‍ය සිසුවියගේ ගුවන් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගෙන පරීක්ෂා කර ඇති පොලිසිය ඇය වීසා කාලසීමාව දිගු කරගනිමින් මෙරට රැඳී සිටි බවද පවසයි. ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ඊයේ (2) රාජසන්තක කර ඇත.
පොලීසිය පැවසුවේ, මෙම බ්‍රිතානය කාන්තාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දින 7 ක් ඇතුලත කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇති බවයි.



ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවසට පැමිණ ඇයව බිය ගැන්වීමට උත්සාහ කර ඇති බවත් පසුව ඇයගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කර ඇති බවත් වාර්තාවේ.
ඇය අද පළවූ ඉංග්‍රීසි පුවත්පතකට මෙසේ පැවසුවාය.
“ඊයේ ආගමන දෙපාර්තමේන්තුවෙන් ඇමතුමක් ලැබීමෙන් පසු මට දැන් රටින් පිටව යන ලෙස අනතුරු අඟවා තිබෙනවා- අද ආගමන විගමන නිලධාරීන් මට පහර දී මගේ නිවසින් පිටතදී මා බිය ගන්වා මගේ විදේශ ගමන් බලපත්‍රය ඉල්ලා සිටියා. ඔවුන් දැන් මගෙන් එය ලබාගෙන ඇත."

“මෙසේ කරද්දී මගේ රූගත කිරීම් සිදු කලා. ඒ අතරමගදී ඔවුන් 'සජීවී වීඩියෝවක්' කියනවා මට ඇසුණා - ඕනෑම ස්වදේශිකුට සවන් දීමට කැමති නම්, මාගේ අදහස් ප්‍රයෝජනවත් වනු ඇත… මන්ද ඔවුන් මා හට කරන අනතුරු ඇඟවීම දැනගන්නවා‘

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතීඥ නිහාල් තල්දූව කියා සිටියේ

“ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සෘණාත්මක අන්තර්ගතයන් බෙදා ගනිමින් සිටියා. විදේශිකයෙක් අපේ රටේ ඉඳලා මේ වගේ මහා සෘණාත්මක අන්තර්ගතයන් බෙදාගන්න එක හරි නැහැ. විරෝධතා සහ ‘ගෝඨාගෝගම’ ආවරණය කිරීමට ඇය මාධ්‍යවේදියෙකු ද නොවේ.

වීසා දීර්ඝ කර ගනිමින් ඇය ශ්‍රී ලංකාවේ රැඳී සිටි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා, ඇය රැඳී සිටීමට හේතු පැහැදිලි කිරීම සඳහා ඇයට දින හතක කාලයක් ලබා දී තිබුණා.“

පහත පළවන්නේ ඇය සිටි ස්ථානයට පොලිසිය පැමිණ සිදුකළ බලපෑම ඇයගේ ඉන්ස්ටර්ග්‍රැම්හි සජීවී වීඩියෝවකින් පළ කර තිබූ අයුරුය. ඇය ඒ සමග පළ කර තිබූ සටහන හා අරගලය ගැන ඇය ප්‍රචාරය කළ වීඩියෝවක් පහතින්