
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ශාන් අරෝශ් ජයසිංහ හෙවත් මතුගම ශාන් නමැත්තාගේ උපන්දිනය සමරා මතුගම ප‍්‍රදේශයේ තෑගි වවුචර බෙදාහැර ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවැසීය. අඩු ආදායම්ලාභී පුද්ගලයන් 300කට අධික පිරිසකට සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් 5000 වවුචර් පත් ප්‍රදානය කරනු ලැබ ඇත්තේ මතුගම, අළුත්ම පාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ශාන් නමැත්තා ගේ බිරිඳ විසින් බවද තවත් සියයකට ආසන්න පිරිසකට ද නොබෝ දිනකින් වවුචර්පත් ලබාදීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.
මතුගම බාලිකා පාරේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශාන් නමැත්තාගේ බිරිය රක්ෂිත බන්ධනාගාර ගත වී සිට මීට සති 3 කට පමණ ඉහත දී ඇප මත නිදහස් පැමිණ ඇති අතර ඇය පැමිණීමේ දී මතුගම ඔරලෝසු කණුව අසලදී ඇයට මල් මාලා පළදවා ඉමහත් හරසරින් පිළිගෙන නිවසට කැඳවාගෙන පැමිණ ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. එලෙස වෙඩි තබා මරා දමා ඇත්තේ ද ඔවුන්ගේ පවුලේ සමීපතම ඥාතිවරියකි. මේ අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සලිදු මල්ශිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිදු නමැත්තා ද රුපියල් පන්දාහේ තෑගි වවුචර මීට දින කීපයකට ඉහතදී පානදුර කුඩා අරුග්ගොඩ ප්‍රදේශයේ පිරිසකට බෙදාදී ඇතැයි වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval