2026-world-cup-sri-lanka

2023 වසරේ සිට 2027 වසර දක්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී) තරග කාලසටහන ඊයේ (17දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබූ අතර, එම තරග කාලසටහනට අනුව 2026 වසරේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

ඒ අනුව එම තරගාවලිය 2026 වසරේදී ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ලැබුණු මෙම අනර්ඝ අවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියකු පැවැසුවේ තවත් එක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක අඩුපාඩුව හේතුවෙන් මෙම තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වූ බවය. “අපිට තියෙන්නේ දිවා/රාත්‍රී ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩාංගණ 4යි.  එවැනිම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගම ඉදිකිරීමට උත්සාහ ගත්ත අවස්ථාවේදී දේශපාලනික බලපෑම් එල්ල වීම නිසා එම ක්‍රීඩාංගණය ඉදිකිරීමට නොහැකි වුණා” යනුවෙනි.



එසේම එම කාලසටහන අනුව ශ්‍රී  ලංකාව එක්වන පළමු තරගාවලිය එළැඹෙන 2023 වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දීය කණ්ඩායම සමඟිනි. එහිදී ඉන්දියාව සමඟින් එක්දින තරග 3ක් සහ විස්සයි 20 තරග 3කින් යුත් තරගාවලියක් සඳහා ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායම එක්වීමට නියමිතව ඇත.

තවද 2023 වසරේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඇතුළුව අයි.සී.සී.ය මගින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරගාවලි 5ක් අදාළ කාල සීමාව තුළ පැවැත්වීමට නියමිතව තිබේ.

2024 වසරේ ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර 2024 වසරේ ශුරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානයේදීය.

එමෙන්ම 2027 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම සියල්ලට අමතරව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයක් වන අතර, 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සහ 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබීමද කැපී පෙනේ.

මේ අතර ඉදිරි දෙවසරක කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. ඊට අමතරව අයි.සී.සී. තරගාවලි සහ ද්වී පාර්ශ්වීය තරගාවලි සම්බන්ධයෙන් ද නිල කාලසටහන ද එළිදක්වා තිබිණි.

අයි.සී.සී.ය මගින් මෙලෙස ඉදිරි වසර කිහිපයක් වෙනුවෙන් කාන්තා ජාත්‍යන්තර තරග කාලසටහනක් නිකුත් කර ඇත්තේ පළමු වරට වීමද විශේෂත්වයකි. එයට සමගාමීව 2022-25 කාලසීමාව සඳහා අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියට අදාළ තරග කාලසටහනද ප්‍රකාශයට පත් කර ඇත.



මෙම නව කාලසටහනට අනුව අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියට අදාළව සෑම කණ්ඩායමක්ම එක්දින ජාත්‍යන්තර තරග 3 බැගින් යුත් ද්වීපාර්ශ්වික තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී  ලංකාව පසුගියදා නිමා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟින් එක්දින තරගාවලියද ඇතුළුව ඉදිරියේදී නවසීලන්තය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය සමගින් මෙරටදී තරග වැදීමට නියමිතව ඇත. ඊට අමතරව ශ්‍රී  ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියේදී එංගලන්තය, දකුණු අප්‍රිකාව සමගින් විදෙස් තරග සංචාරයන් සඳහා එක්වීමට නියමිතව ඇත.

මෙම තරග කාලසටහනට අනුව එළැඹෙන ජනවාරි මාසයේදී බංග්ලාදේශ කාන්තා පිල විස්සයි-20 තරග 3කින් සහ එක්දින තරග 3කින් යුත් තරගාවලියක් සඳහා ශ්‍රී  ලංකාවේ තරග සංචාරයක එක්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව නවසීලන්තය සමඟින් 2023 වසරේ ජූනි සහ ජූලි මාසවලදී මෙරටදී විස්සයි 20 සහ එක්දින තරග 3 බැගින් වූ තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී  ලංකා පිල එක්වනු ඇත.

එවැනිම තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී  ලංකා කාන්තා පිල එළැඹෙන වසරේ සැප්තැම්බර් මාසයේදී එංගලන්ත සංචාරයක නිරත වීමට නියමිත අතර 2024 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී  ලංකා කාන්තා පිල දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත. එපමණක් නොව එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා 2024 වසරේ ජූනි සහ ජූලි මාසයන්හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී  ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත ඇත. එමෙන්ම ශ්‍රී  ලංකා පිලේ අයර්ලන්ත තරග සංචාරය 2024 වසරේ අගෝස්තු මාසයට යෙදී ඇති බවද සඳහන්ය.

විචිත්‍ර වීරසිංහ ගමිත දෙහිපිටිය