walana-ceypetco-incident

මාධ්‍යවේදී සමන් කාරියවසම් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර වලාන ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු ඇතුළු තිදෙනෙකු පෙරේදා (24) පස්වරුවේ අත්අඩංගුවට ගන්ධව පානදුර දකුණ පොලිසිය පවසයි. ජාතික ඉන්ධන ප්‍රතිපත්තියට අනුව QR කේතය හඳුන්වාදීම ඉකුත් 23 දා වලාන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල යොදා ගැනීමට නියමිතව තිබූ නමුත් එදින ඉන්ධන නොලැබීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

එහි පුවත් වාර්තාවක් සකස් කිරීම සඳහා මාධ්‍යවේ දී සමන් කාරියවසම් මහතා එහි ගොස් ඇති අතර එය ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ද පළකර ඇත. ඊට පසුදින එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කරන බවට පිරවුම්හලෙන් ලද ඇමතුමකට අනුව මාධ්‍යවේදීයා එහි ගොස් ඇති අතර එහිදී පිරවුම්හලේ හිමිකරු විසින් පෙරදින පළකළ වාර්තාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

ඇති වූ කතාබහ අතරතුර පිරවුම්හලේ කළමනාකරු මාධ්‍යවේදීයාගේ කමිස කොළරයෙන් අල්ලා ඇද ඇති අතර ඔහු ඉන් පිටව යන අවස්ථාවේ දී වලාන බුදු පිළිමය අසල දී දෙදෙනකු ඔහුට අතින් පයින් පහර දී ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය. මෙහිදී පානදුර තන්තිරිමුල්ල සහ මහවිල ප්‍රදේශයේ පදිංචි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් දෙපාර්ශවය සමථ මණ්ඩලයට යොමු කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.