stalin-ranil

අරගලකරුවන් මර්දනය කිරීම වර්තමාන ආණ්ඩුව සිදුකරන වැඩපිළිවෙළ පරාජයට පත් කිරීමට හා නව ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරන ක්‍රියාමාර්ග අද (27දා) සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි.  මේ අනුව පළමු ක්‍රියාමාර්ගය ලෙස අද කොටුව දුම් පොළ ඉදිරිපිටදී වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධ වී විරෝධතා ව්‍යාපාරයක් සිදුකරන බවද එම සංවිධාන එකමුතුවේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.





මීට අමතරව ඉදිරියේදී දිවයින පුරා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට හා වැඩවර්ජන සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත්, වර්තමාන ආණ්ඩුව විසින් සිදුකරන මර්දන ක්‍රියාවලිය පරාජයට පත් කිරීමට හා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගෙදර යන ලෙස බල කරමින් සිදුකරන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට පුළුල් පෙරමුණක්ද ගොඩනගන බවත් හෙතෙම පවසා සිටියේය.

පුළුල් පෙරමුණක් ගොඩනැගීම සඳහා මේ වනවිට දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත්, මේ ආකාරයට පුළුල් පෙරමුණක් ගොඩනගා දේශපාලන පක්‍ෂවල සහාය ලබාගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ශක්තිමත් සිදුකිරීමටත් සැලසුම් කර තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය. අරගලයේ නිරත වන පිරිස්වලට පහරදීම් හා අත්අඩංගුවට ගැනීම් මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, ඉදිරියේදීත් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් කරමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.