specialist-doctor-issues

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ලැයිස්තුව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් රෝහල් ගණනාවක විශේෂඥ වෛද්‍ය සේවාවන් අඩාල වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ පුහුණුව නිමකර පැමිණෙන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් හේතුවෙන් අනුප්‍රප්තිකයන් ලබාදීමට නොහැකිවී ඇති බැවින් ඒ හේතුවෙන් ස්ථාන මාරු වැඩපිළිවෙළ කඩා වැටී ඇතැයි වාර්තා වේ.



රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පුරවන්නේ විදේශ පුහුණුව නිමකර පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ පුහුණුවට යාමට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යැයි ද වාර්තාවේ.

සමානාත්මතාව සහ ගුණාත්මකබව පවත්වා ගැනීම සඳහා, රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවිය යුතු හොඳම ක්‍රමය වන්නේ විදේශ පුහුණුව නිමකර පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් වුවද මෙම ක්‍රමය වෙනස් කිරීමට විදේශ පුහුණුව නිමකර පැමිණි ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කිරීම හේතුවෙන් ස්ථානමාරු ලැයිස්තුව නිසිලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ විෂය භාර අධ්‍යක්ෂකවරයාද තහවුරු කළේය.

මේ හේතුවෙන් විශේෂඥ සේවාව ලබා ගැනීමට ඇතැම් රෝහල්වලට පැමිණෙන රෝගීන්ට බොහෝ දුර ගෙවා විශේෂඥ වෛද්‍යවරයකු සිටින රෝහලක් වෙත යාමට සිදුව ඇතැයිද ඔහු සඳහන් කර සිටියි.

(ශ්‍රියානි විජේසිංහ -Aruna)