ranil-foreign-delegations

ඊයේ සවස කොළඹ ජනාධිපති කාර්යාලයට විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් කැඳවා තිබෙන ජනාධිපති රනිල්  ගෝඨාගෝගම හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කර තිබෙන ප්‍රකාශ ගැන කණස්සල්ල පළ කර ඇතැයි වාර්තාවේ.‍

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට කළ ආරාධනය අනුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු බ්‍රිතාන්‍ය කැනඩා ඇතුළු මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ නිකුත් කළ තානාපතිවරුන් සිටි බව වාර්තා විය.

 ඔවුන් සමග ජනපතිවරයා පවසා ඇත්තේ ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රය එළිපෙහෙළි කිරීමට ආරක්ෂක අංශ මෙහෙයුමක් සිදු කළ බවත් තමන්ට අවහිරයක් නැතිව රාජකාරී කරගෙන යාමට එය කළ බවත්ය.


ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ සමාජ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන සිදුවූ දේවල් විග්‍රහ කිරීම නිවැරදි නොවන බවයි.
 ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කිරීමේදී කරුණු පැහැදිලි කර ගැනීම සඳහා බලධාරීන් සමඟ පරීක්ෂා කර බලන ලෙසද ජනපතිවරයා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා තිබේ.
 
පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් අමතමින් එක එල්ලේ විමසා ඇත්තේ ‘ඔබේ රටවල ජනාධිපති කාර්යාල නීති විරෝධී ලෙස විරෝධතාකරුවන්ට අත්පත් කරගත හැකිද?‘ යනුවෙනි.
කෙසේ වෙතත් ඒ වනවිටත් තානාපතිවරුන් නිකුත් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු කෝපය පළ කර නැත. සැහැල්ලූ ස්වරයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුගෙන්  මේ බව විමසා ඇතැයි වාර්තාවේ.


හමුදා ක්‍රියාන්විතය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළ ජනාධිපති වික්‍රමසිංහ, අධිකරණ නියෝගයක් නොතකා විරෝධතාකරුවන් දිගින් දිගටම එම ප්‍රදේශය අල්ලාගෙන සිටි බවත් ඔවුන් දිගින් දිගටම නීති විරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින බවත් දන්වා ඇත.

ඊයේ පෙරවරු 6 වන විට විරෝධතාකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දන්වා තිබූ නමුත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර විකල්ප වේලාවක් ලබා දුන් බවත් එය බලධාරීන් විසින් පිළි නොගත් බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියේය.
 
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මිත්‍ර ජාතීන්ගෙන් සහය අවශ්‍යව ඇති අවස්ථාවක, සමාජ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන කරන ප්‍රකාශවලින් පමණක් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි සිදුවිය හැකි බැවින්, ප්‍රකාශ නිකුත් කිරීමේදී සැලකිලිමත් වන්නැයි කීය.
 
ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, සමාජ මාධ්‍යවල ඇති දේ පමණක් දැකීමට වඩා සොයා බලන ලෙසත් එසේ කරන සොයා බැලීමකදී ඕනෑම විමසීමක් පැහැදිලි කිරීමට තම බලධාරීන්ට හැකි බවයි.