maithripala-ranil

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට භාරදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ නියෝජිතයින් ඊයේ දහවල් 12ට පමණ මුදල් අමාත්‍යාංශය වෙත පැමිණ තිබුණි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (28) පැවති සාකච්ඡා ගැන



සාකච්ඡාව අවසානයේ මුදල් අමාත්‍යාංශයෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ,

“අපි ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ තිබෙන කරුණු ගැන සාකච්ඡා කළා. සති දෙකකින් ආයෙ හමුවෙලා කතා කරන්න දන්වනවා කියල කිව්වා”

එහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටියේ, “යහපාලන ආණ්ඩු කාලයෙත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු කරන්න බැරිවුණා නම් දැන් පුළුවන් ද?”

ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ඔව් ඉතින්.. පක්ෂ ඔක්කොම නේ කැඳවන්න කියලා කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට. ”

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සිය පක්ෂයේ නිර්දේශ ඇතුළත් කරමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ද ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ රටතුළ පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විකල්ප දෙකකින් එකක් තෝරා ගැනීමට සිදුවන බවය.



පවතින ආර්ථික අර්බුදය යොදාගනිමින් දියත්වන අධිරාජ්‍යවාදී මෙහෙයුම්වල ගොදුරක් බවට පත්වී රට හයිටියක් බවට පත්කරනවාද, ‍ඓතිහාසික වැරදි නිවැරදි කිරීමට ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අර්බුදය විසඳීම සඳහා සමාජ ගිවිසුමක් ඇති කරගන්නවා ද යන්න එම විකල්ප දෙක බව නිවේදනයේ සඳහන් වෙයි.

ජනාධිපතිවරයා අවංකව ඉහත කී දෙවන උපායමාර්ගික ප්‍රවේශය තෝරාගන්නා තත්ත්වයක් තුළ දේශපාලන වාදවිවාදවලින් හෝ ඓතිහාසික ගැටුම් යාවත්කාලින කිරීමෙන් තොරව ඊට මඟ පෙන්වීමට ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් වන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.