maharagama-police-aragalaya

පසුගිය ජුලි 9 අරගල දිනයේ පොලිස් හෙල්මට්ටුව විසි කර මහරගමදී අරගලයට සම්බන්ධවූ බවට වාර්තා පළවූ සැරයන් වරයා අසාමාන්‍ය හැසිරීමක් නිසා අත්අඩංගුවට පත්ව තිබේ.



පොලිස් නිල ඇඳුමින් සැරසී තියුණු ආයුධයක් ද අතැතිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියදී කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ  බව පැවසේ.
පොලිස් ප‍්‍රවාහන කොට්ඨාසයේ යාන්ත්‍රික පොලිස් සැරයන්වරයකු වන ඔහු ලබන 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කවින්ද පෙරේරා මහතා ඊයේ (11) නියෝග කළේය. සැකකාර පොලිස් සැරයන්වරයා වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවුණු අතර සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නීතිඥ නියෝජනයක් සඳහා ඔහුගේ ඥාතීන්ට දැනුම් දෙන ලෙසට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.



සැකකරු සම්බන්ධයෙන්  මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පළමු පටුමග, සමගි මාවත,  මාගම්මන, හෝමාගම පදිංචි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් යාන්ත්‍රික සැරයන් 8873 කපුගමගේ සුදත් සමන්සිරි ද සිල්වා නමැත්තාය. සැකකටයුතු අයුරින් පොලිස් නිල ඇඳුමෙන්  සැරසී අපරාධයක් කළ හැකි පිහියක් අතැතිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටියදී මෙම සැකකාර පොලිස් නිලධාරියා ඊයේ (11) පෙරවරු හතරයි දහයට එහි ප්‍රධාන දොරටුව අසලදී අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. අඟල් 4යි අඟල් 10 ප්‍රමාණයේ තියුණු පිහියක් සන්තකයේ තබාගෙන, සිටි මෙම සැකකරු පොලිස් නිල ඇඳුමෙන් සැරසී පාවහන් යුගලකින් සැරසී සිටි බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

එදින අලුයම 2ට පමණ තමන් නිවසින් පිටත්ව පැමිණි අතර තමන් පැමිණෙන මාර්ගය දෙපස ලඳු කැලෑවක් ඇති බැවින් වන සතුන් සර්පයන් ගැවසෙන බිය හේතුවෙන් මෙම පිහිය රැගෙන ආ බව සැකකරු අධිකරණයට ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කරන ඒවා පරස්පර විරෝධී බවත් ඒ හේතුවෙන් සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සැකකාර පොලිස් නිලධාරියා ඉකුත් 09 වැනිදා පැවති අරගලයේදී සිය හිස්වැසුම පසෙකට විසිකර විරෝධතාවට එක් වූ පොලිස් නිලධාරියා බවද කොටුව  පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 15 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප සම්බන්ධයෙන් නීතිඥ නියෝජනයක් සමගින් අධිකරණයට ඉදිරිපත් වන ලෙසට නියම කළේය.

-නිමන්ති රණසිංහ-