nandalal-speaks

මහබැංකු අධිපතිවරයා ඊයේ හිරු රූපවාහිනී නාලිකාවේ සංවාදමය වැඩසටහනකට සහභාගී වෙමින්
ලබන මාසයේ මැද භාගය වනතෙක් දැනට මුදල් ගෙවා ඇති ඉන්ධන නෞකාවලින් සැපයෙන ඉන්ධන පිරිමසා ගැනීමට හැකිවනු ඇති නමුත් ඉන් ඉදිරියට ඉන්ධන මිලදී ගැනීම තවමත් අවිනිශ්චිත බව කීවේය.මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම තත්වය පැහැදිලි කළේ මෙසේය.


“තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට වාහනවලට විතරක් ( විදුලියට නැතුව ) ඩොලර් මිලියන 350 – 400ක් වත් අවශ්‍ය වෙනවා.

විදුලියටත් සමග 550ක් වගේ තමයි අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒ සඳහා ඩොලර් මිලියන 500ක් හොයාගන්න ( අපේ සංචිත තියෙන්නෙ ඉතාම අඩු මට්ටමක නිසා ) තියෙන එකම ක්‍රමය තමයි ඉන්දියාව හරි චීනය හරි කවුරුහරි දෙන්න ඕනෙ, එහෙම දුන්නොත් මේක ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන්. ඒ වුණත් දැන් ඒ තත්වය අවිනිශ්චිතයි අපට එහෙම ලැබෙනවාද නැද්ද කියන එක. අපි ඉල්ලීමක් කරලා තියෙනවා, තවම ලැබෙනවාද කියලා ස්ථාවරත්වයක් නෑ. එතකොට එහෙම වුණාම නරකම තත්වය අපි හිතමු අපට මොකුත් හම්බවුණේ නෑ කියලා, එහෙම හම්බුණේ නැත්නම් අපට තියෙන සංචිත අපි පාවිච්චි කරලා ඉවරයි, ලබන මාසෙ මැද විතර වෙනකල් මේ දීපු සල්ලිවලින් තෙල් ටික එයි. එතකොට එතනින් එහාට කොහොමද ලබන මාසෙට තෙල් හොයාගන්නෙ කියන එක අවිනිශ්චිතයි”



ප්‍රශ්නය – අද මේ පවතින තත්වය අනුව කවදා වෙනකල් ගැටලුවක් නැතුව තෙල් නැව්වලට ගෙවීම් කරලා තියෙනවාද ?

“ඩීසල් නැව් තුනකටයි, පෙට්‍රල් නැව් දෙකකටයි අපි සල්ලි ගෙවලා තියෙන්නෙ. මුදල් ගෙවලා ඉවරවෙලා, දැන් එන්න නියමිතයි. ඒවා තමයි ඔය මේ දවස්වල එන්නෙ”

“පහුගිය දවස්වල තෙල් නැතුවම තිබ්බානෙ. දැන් ඔය ඩීසල්, පෙට්‍රල් එන්නෙ, එන්න පටන් අරන් තියෙන්නෙ. ඒ ප්‍රමාණයට අපි මුදල් ගෙවලා තියෙනවා. එතකොට ඒ ටික ප්‍රමාණවත් වෙයි – සම්පූර්ණයෙන්ම නෙවෙයි – හිඟ ඇතුව ලබන මාසෙ මුල කොටස වගේ වෙනකල් මේ තත්වය තියෙයි”