droupadhy-murmu-india-president

ඉන්දියාවේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවන්නේ අගමැති කෙනෙකි. ජනපති නාම මාත්‍ර කෙනෙකි. ඒ සදහා රටට කිසියම් ගෞරවයක් එක්කළ හැකි කෙනෙකු පත් කෙරේ. පාලන බලතල නැති අයකු වන ජනපති තෝරන්නේ ප්‍රාන්ත මට්ටමේ නායකයන් මගිනි. නායකයින් සලකුණු කරන ඡන්ද ජනතාවගේ පිළිබිඹුවක් ලෙස සලකා එකතු කර ජනපති තෝරයි.




ඉන්දියාවේ ජනපති පුටුව සදහා නම් කිහිපයක් පසුගිය කාලයේ යෝජනා වූ අතර අද (21) වාර්තාවන්නේ
ද්‍රෞපදී මුර්මු නමැති කාන්තාව ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරිය ලෙස තේරී පත්වනු ඇති බවයි.
ඇය මෙම ඉහළම ව්‍යවස්ථාපිත තනතුරට පත් වන රටේ පළමු ගෝත්‍රික සහ දෙවන කාන්තාව වේ. බ්‍රහස්පතින්දා පෙරවරු 11 ට ආරම්භ වූ ඡන්ද ගණන් කිරීමේ තෙවැනි වටයේ ගණන් කිරීමේ දී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ (එන්ඩීඒ) අපේක්ෂක ද්‍රෞපදී මුර්මු එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ (යූපීඒ) අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජයට පත් කළාය.


අගමැති නරේන්ද්‍ර මෝදි මුර්මුගේ නිවසටම පැමිණ ඇයට සුබ පැතූවේය.
නැගෙනහිර ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක උපත ලැබූ ගෝත්‍රික ප්‍රජාවක කාන්තාවක ජනාධිපති ලෙස තේරී පත් වී තිබේ.
NDA අපේක්ෂිකා ද්‍රෞපදී මුර්මුගේ ජයග්‍රහණයෙන් පසු ඔඩීෂා හි ඇයගේ උපන් ගම්මානයේ සහ රටේ සෙසු ප්‍රදේශවල සැමරුම් වාර්තාවී ඇත. මුර්මුගේ ජයග්‍රහණය ජනතාව බෙර වාදනය කරමින් සහ සම්ප්‍රදායික සංගීත භාණ්ඩ සමඟින් සමරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔඩීෂා ප්‍රාන්තයේ මයූර්බන්ජ් දිස්ත්‍රික්කයේ රයිරන්ග්පූර් නගරයේ මුර්මු ගම්මානයේ ඔවුන්ගේ ආදරණීයයන් ලඩ්ඩු බෙදා දෙමින් එකිනෙකා සමඟ සමරමින් සිටිති.
දැනට පදවිය දරන ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ ධුර කාලය ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. නව ජනාධිපතිවරයා ජූලි 25 වැනිදා දිවුරුම් දීමට නියමිතය. භාරතීය ජනතා පක්ෂයේ දිල්ලි ප්‍රධාන කාර්යාලයේ සැමරුම් ද සූදානම් වෙමින් පවතී.