vegetable-price-hike

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එළවළු, කරවල සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි අයුරින් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මීට මාස කිහිපයකට පෙර කිලෝවක මිල රුපියල් 200ක් පමණ වූ ඇතැම් එළවළු වර්ගවල මිල මේ වන විට රුපියල් 1,000 ඉක්මවා ඇති අතර,  ඇතැම් මාළු වර්ගවල කිලෝවක මිල රුපියල් 2,000 ඉක්මවා තිබේ.  මෙම දරාගත නොහැකි මිල ගණන් හේතුවෙන් එළවළු අලෙවිය සියයට 50කටත් වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති බව සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ පොළ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය. මෙතෙක් දුප්පතාගේ ආහාරය ලෙස පැවැති පාන් හා පරිප්පු මිල ද දැන් දරාගත නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති අතර, පාන් ගෙඩියක් රුපියල් 170ක් දක්වාත්, පරිප්පු කිලෝවක මිල රුපියල් 614 ක් 720 අතර මිලක් දක්වාත් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.



එමෙන්ම මීට සති තුනකට පමණ පෙර රුපියල් 450ත් 500ත් අතර මිලක් පැවැති බෝංචි කිලෝවක තොග මිල ඊයේ 14 වන විට රුපියල් 550ත් 600ත් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැරට් කිලෝවක තොග මිල රුපියල් 250ත් 280ත් අතර සිට  රුපියල් 330ත් 330ත් දක්වාත්, ලීක්සි කිලෝවක තොග මිල රුපියල් 140ත් 160ත් අතර සිට 190ත් 2000 දක්වාත් ගෝවා කිලෝවක් රුපියල් 140ත් 160ත් අතර සිට රුපියල් 300ත් 350ත් දක්වාත්, බීට් රූට් කිලෝවක් රුපියල් 100ත් 150ත් අතර සිට රුපියල් 350ත් 400ත් දක්වාත්, අර්තාපල් කිලෝවක් රුපියල් 300 සිට රුපියල් 330ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මීට සති තුනකට පමණ ඉහතදී රුපියල් 550ත් 600ත් අතර, මිලක පැවැති බෝචි කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 650ත් 750ත් අතර මිලක් දක්වාත්, රුපියල් 360ක්ව පැවැති අර්තාපල් කිලෝව රුපියල් 390ක් දක්වාත් රුපියල් 320ක් දක්වාත්, රුපියල් 300ක් පමණ වූ බීට් රූට් කිලෝවක් රුපියල් 600ක් දක්වාත් වශයෙන් ඉහළ ගොස් ඇති බව වෙළඳපොළේ කළ සංචාරයකදී දැකගත හැකි විය.

තුඹ කරවිල කිලෝවක සිල්ලර මිල රුපියල් 1,380ක් පමණ වන අතර, අමු මිරිස් කිලෝවක් රුපියල් 1,000ක් දක්වාත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 890ක් දක්වාත් සහ දෙහි කිලෝවක් රුපියල් 950ක් දක්වාත් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති. එමෙන්ම වෙළෙඳපොළේ ඉතා අඩු මිල ගණන්වලට අලෙවි  වෙමින් තිබූ දඹල කිලෝවක් මේ වන විට රුපියල් 660ක්  දක්වාත්, මෑ කරල් කිලෝවක් රුපියල් 400ක්, පතෝල කිලෝවක් රුපියල් 460ක් දක්වා මිල ගණන් යටතේ අලෙවි විය. වැටකොළු කිලෝවක මිල රුපියල් 550කි. මේ අතර තක්කාලි කිලෝවක මිලෙහි යම් අඩුවක් දක්නට ලැබෙන අතර මීට සති තුනකට පෙර පැවැති තොග මිල රුපියල් 600ත් 700ත් අතර සිට රුපියල් 450ත් 5000 දක්වාත්, රුපියල් 1000ත් 1200ත් අතර පැවැති සිල්ලර මිල රුපියල් 890ක් දක්වාත් ඊයේ (14) වනවිට අඩු වී තිබුණි.



මේ වන විට තරමක් හෝ අඩු මිලකට පවතින්නේ කැකිරි, වට්ටක්කා, අළු කෙසෙල් වැනි එළවළු වර්ග කිහිපයක්  පමණක් වන අතර රුපියල් 65කට පමණ පැවැත් වට්ටක්කා කිලෝවක මිල ද මේ වන විට රුපියල් 240ත් 250ත් දක්වා  ඉහළ ගොස් තිබේ. එමෙන්ම මීට සතියකට පෙර රුපියල් 220ක්ව පැවැති ලොකු ලූනු කිලෝවක මිල මේ වන විට රුපියල් 290ක් දක්වාත්, රුපියල් 480ක් පමණ වූ රතු ලූනු කිලෝවක මිල රුපියල් 960ක් දක්වාත්, රුපියල් 600ක් පමණ වූ සුදු ලූනු කිලෝවක මිල රුපියල් 600 සිට 840ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මේ අතර මාළු මිල ගණන් ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර කාරල්ලා කිලෝවක් 780ක්, තලපත් කිලෝවක් රුපියල් 2,500 කටද, කෙලවල්ලන් කිලෝවක්  රුපියල් 2,400ක්, පරා මාළු කිලෝවක් රුපියල් 2,000කටද, ඉස්සන් කිලෝවක් රුපියල් 1,690කටද, ලින්ටා කිලෝවක් රුපියල් 1,380කටද අලෙවි විය. ලේ පරව් කිලෝවක් රුපියල් 1,440ක්, ලෙසද දැල්ලන් කිලෝවක් රුපියල් 2,310ක්, ලෙසද හුරුල්ලන් කිලෝවක් රුපියල් 1,600ක්, ඵලාවන් කිලෝවක්  රුපියල් 1,600ක් ලෙසද පැවැති අතර සාලයන් කිලෝවක් රුපියල් 800ත් 1000ත් මිලකට අලෙවි විය.

එමෙන්ම හාල්මැස්සන් කිලෝව මේ වන විට රුපියල් 2,000ක්  3000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර, කට්ටා කරවල කිලෝවක් රුපියල් 3,400ක්, තලපත් කරවල කිලෝවක් රුපියල් 3,600ක්, කීරමින් කරවල කිලෝවක් රුපියල් 3,000ක්, බල කරවල කිලෝවක් රුපියල් 2,400ක් සහ කූනිස්සන් කිලෝවක්  රුපියල් 2,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති. ධීවර බෝට්ටුවලට ඉන්ධන ලබාගැනීමේ ගැටලුව මෙන්ම ප්‍රවාහනයට ඉන්ධන නොමැතිවීම මත්ස්‍ය මිල ගණන් ඉහළ යාමට ද හේතු වී තිබේ.

-අංජුල මහීක වීරරත්න -