kahatuduwa-fire-house

කහතුඩුව මාගම්මන අඩක් වැඩ නිම කරන ලද දෙමහල් නිවෙසක පිපිරීමක් සමග ඇතිවූ ගින්නකින් නිවෙස් හිමියා සහ බිරිඳ මියගොස් දරු දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිද්ධිය වාර්තාවූයේ පෙරේදා රාත්‍රියේය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ලසන්ත බුද්ධික රණසිංහ 41 විදුලි කාර්මිකයෙකි. මියගිය බිරිය 35 හැවිරිදි ගෘහණියකි.
පෙරේදා රාත්‍රි 10.30 ට පමණ නිවස තුළින් පිපිරීමක් සමග ම මෙම ගින්න හටගෙන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් දොරගුළු කඩා ගින්න නිවා පිරිස බේරා ගෙන රෝහල් ගත කර ඇත.
ගින්නෙන් බරපතළ ලැබූ වයස අවුරුදු 4ක පමණ කුඩා දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ හා වයස අවුරුදු 18 ක තරුණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.


ගින්න ඇතිවූයේ කෙසේද යන්න පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට මෙය පෙට්‍රල් කෑන් ගබඩා කිරීමක් හා ඊට හදිසියේ ගින්දර එකතුවීමක් නිසා හටගත් විනාශයක් බවට තොරතුරු හෙලිව ඇත.
 එම ගින්නට හේතුව කාමරයේ තබා තිබූ ඉන්ධන වර්ගයක් විය හැකි බවට සැකකරන ද්‍රව්‍ය හමුවූ බව පොලිසිය පවසයි.නිවසේ පහළ මාලය තුළ ඇති වී තිබෙන ගින්න එහි නිදන කාමරයකටද පැතිර ගොස් තිබුණි.
ගෙහිමි යුවළ සිය දියණියන් දෙදෙනා සමග නිදා සිට ඇත්තේ එම ස්ථානයේය.ගින්නෙන් බේරී ඇත්තේ වෙනත් කාමරයක නිදා සිටි, නිවෙස් හිමියාගේ මව පමණි.ගින්න දුටු වහාම ප්‍රදේශවාසීන් පැමිණ එය නිවා දමා පිරිස මුදා ගැනීමට කටයුතු කළේය.
ඒ වන විටත් නිවසේ සිටි 41 හැවිරිදි පියා ඇතිවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් සිට තිබුණි.පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා රෝහල් ගත කෙරුණි. එලෙස රෝහල් ගත කෙරුණත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි කාන්තාව (26) පෙරවරුවේ මියගොස් තිබුණි.


සිව් හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන අතර 19 හැවිරිදි අනෙක් දියණිය තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.