gampola-girl-missing

ගම්පොල ගලහා හයිඩ්වත්තෙන් අතුරුදන් වූ දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාව දින හයකට පසු යාපනය බස් නැවතුම්පොළෙන් සොයාගෙන තිබේ.


මෙසේ අතුරුදන්ව සිටියේ ගලහා හයිඩ් වත්තේ පදිංචි රාසලිංගම් ප්‍රියදර්ශනී නැමති පාසල් ශිෂ්‍යාවයි.
ඇය පිළිබඳව ඡායාරූප සහිතව මාධ්‍යයේ පළවීම සමග යාපනය වෙළෙන්දෙක් ඇය හඳුනාගෙන යාපනය පොලිසියට දැනුම් දීමෙන් පසුව ඇය සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.


මෙම ශිෂ්‍යාව නිවැසියන් සමග අමනාප වී ඔවුන්ටද රහසින් පසුගිය 05 වැනිදා සවස ගෙදරින් පැනවිත් මහනුවර දිගන ප්‍රදේශයේ ඇගේ යෙහෙළියකගේ නිවසට ගොස් තිබේ. ඇය දින හතරක් එහි ගතකොට එම නිවැසියන්ගේ දැනුම්දීම මත යළි ගලහා හයිට් වත්ත නිවසට පැමිණීම සඳහා නුවරට පැමිණ තිබේ.

මේ වන විට ඇය ළඟ රුපියල් 9000ක මුදලක් තිබූ බව ද ඇය පොලිසියට පවසා තිබේ. එම මුදලින් රුපියල් හාර දහසක් වැය කර ජංගම දුරකථනයක් ගෙන යළි ගලහට පැමිණියත් නිවසට යාමට සිත් නොදීම නිසා පාසල් මිතුරියකගේ සහෝදරියක් යාපනයේ සිටින බව මතක් වී ඇගේ ජංගම දුරකතනයට කතා කොට රැකියාවක් සොයා දෙන ලෙස ඉල්ලා තිබේ. මෙහි දී එම තැනැත්තිය කියා ඇත්තේ බාලවයස්කාරයෙක් නිසා රැකියාවක් සොයා දිය නොහැකි බවයි. කෙසේ හෝ මෙම දැරිය එදින රාත්‍රියේ යළි මහනුවර ගොස් බස් රථයකින් වව්නියාවට ගොස් රාත්‍රි 11.00ට වවුනියාවෙන් බැස එම බස්නැවතුම්පොළේ රාත්‍රී එළිවෙනතුරු සිට තිබේ. අලුයම 04.20 යාපනයට තිබූ බස් රථයකින් ඇය යළි යාපනයට ගොස් යාපනයේ සිටින අක්කාට දුරකථනයෙන් කතා කිරීමට උත්සාහ කළ ද එහි බැටරිය බැස තිබූ නිසා අසල වෙළෙඳසලකට දුරකතනය ලබාදී බැටරිය චාජ් කර දෙන ලෙස ඉල්ලා යළි බස් නැවතුමට විත් කාලය ගත කර තිබේ.



මේ අතරතුර ඇය අතුරුදන් වූ දැරිය බවට හඳුනාගත් වෙළෙන්දෙක් දැරිය පිළිබඳව යාපනය පොලිසියට දන්වා තිබේ. පසුව දැරිය සිය බාරයට ගත් යාපනය පොලිසිය ඒ බව ගලහ පොලිසියට දන්වා ගලහ පොලිසිය බාර දී තිබේ.

ගලහ පොලිසිය මෙම ශිෂ්‍යයාවගෙන් කටඋත්තර ලබාගෙන ඇය මහනුවර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය අද (15 වැනිදා) දින අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරීමට නියමිතය.

අතුරුදහන් දින සිට හමුවනතුරු කිලෝ මීටර 800 කට අධික දුරක් ඇය ගොස් ඇති අතර පොලිසිය පවසන්නේ ඇගේ සමහර කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා ඇය සිටි ස්ථාන සොයා පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.