corruption-port

හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදුදීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකීරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන මහ භාණ්ඩාගාරය රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.  හම්බන්තොට වරාය බදුදීමෙන් ලබාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් කෝටි 120කි. මේ අතර හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන ඇති ඩොලර් කෝටි 130 ක පමණ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේ වනවිට නොපෙන්වන බව කෝප් කමිටුව පවසයි. මේ අතර වරාය අධිකාරියේ සේවකයන් සඳහා 2021 වර්ෂයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 585 ක් ගෙවා ඇතැයිද කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත. මින් රුපියල් කෝටි 117ක් ගෙවා ඇත්තේ සේවක අතිරික්ත පවතින අංශවල සේවකයන් සඳහා බවද පැවසේ.



මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019, 2020 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරික්ෂා කිරිම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) රැස් වූ අවස්ථාවේදීය. සේවකයන් සඳහා අතිකාල දීමනා ගෙවීමට සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝප් කමිටුවේ සභාපතිවරයා  වරාය අධිකාරියට නිර්දේශ කර ඇත. හම්බන්තොට වරාය 2017 වසරේදී බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය මහාභාණ්ඩාගාරයට ලබා දුන් බවත් ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකර  භාණ්ඩාගාරය ඒ මුදල රජයේ වියදම් සඳහා යොදා ගෙන ඇති බවත් මෙහිදී හෙළිදරව් වී තිබේ.

මහා භාණ්ඩාගාරය මේ වනවිට ණය හා පොලිය ආපසු ගෙවීම සිදු කළද ගිණුම් ප්‍රකාශනවල නිසි පරිදි එය ණය ගෙවීමක් ලෙස සටහන් නොවන බවද කමිටුව පවසයි. වරාය අධිකාරියේ ගිණුම්වල 2017 නොවැම්බර් 30 වනවිට ඉතිරිව පැවති රුපියල් කෝටි දාහතර දහස් හත් සිය හතළිස් හයක ණය හා පොළී ශේෂය සහ රුපියල් කෝටි 4154 ක විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමැතියකින් තොරව මූල්‍ය  ප්‍රකාශනවලින් ඉවත් කරනු ලැබ ඇති බවද අනාවරණය වී ඇත.  මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේ වනවිට නොපෙන්වන බවද එම කමිටුවේ දී හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, වරාය අධිකාරිය සමග සාකච්ඡා කර එම මුදල් නිසි පරිදි ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත වාර්තා කරන ලෙස චරිත හේරත් මහතා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.



මෙහෙයුම් කටයුතු 2017 නොවැම්බර් සිට නතර කර ඇති අධිකාරියේ පරිපාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමනාකරණ සේවා පුද්ගලික සමාගම 2014 වර්ෂයේදී නැව් තෙල් මිලදී ගැනීම සඳහා මෙරට බැංකුවකින් ඇ.ඩො. දෙකෝටි හතළිස් ලක්ෂයක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදල පියවීමට අපොහොසත්වීම නිසා අදාළ බැංකුව මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් කෝප් කමිටු රැස්වීමේදී තොරතුරු හෙළිවී ඇත. ඇමරිකානු ඩොලර් දෙකෝටි හතළිස් ලක්ෂයක නැව් තෙල්  මිලදී ගත්තද එම තෙල් භාවිත නොකර දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා කල් ඉකුත් වූ පසු ඇ.ඩො. මිලියන ලක්ෂ 35 කර ඇති බවද හෙළිදරව් වී ඇත. මේ අනුව ඇ.ඩො දෙකෝටි පන්ලක්ෂයකට ආසන්න අලාභයක් මෙහිදී සිදුවී ඇති බවටද නිරික්ෂණය වී තිබේ. චීන සමාගමකට හම්බන්තොට වරාය 2017 දී බදු දීමේදී මාගම්පුර වරාය කළමනාකරණ සේ පුද්ගලික සමාගමේ  තෙල් ටැංකි සියල්ලද පවරා දී ඇති බවත් එම අවස්ථාවේදී මෙම ණය මුදල් පිළිබඳව අනාවරණය කර නොමැති බවත් එහිදී අනාවරණය විය. එම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය සහ උපදේශකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වහාම මැදිහත් වන ලෙස කමිටුව මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990 ඉක්මවා නොගියද අවිධිමත් හා සංකීර්ණ ලෙස බඳවා ගැනීම් සිදුව ඇති බවද මෙහිදී තොරතුරු හෙළිවිය.වරාය අධිකාරිය 2010 වසරේදී ඉදිරිපත් කර ඇති සේවකයන් බඳවා ගැනීමේ පටිපාටිය (SOR) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත වී නොමැති බවද අනාවරණය විය. ආයතනය සහ සේවකයන් අතර සාමූහික ගිවිසුම් මගින් බඳවා ගැනීමේ පටිපාටිය හා වැටුප් තල තීරණය කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු එහිදී පැවසූහ. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ වැටුප් කොමිසමේ නිර්දේශවලට වරාය අධිකාරිය එකගත්වය පළ කර නොමැති බවද ඒ අනුව තනතුරු පමණක් අනුමත කර ඇති බවද එහිදී හෙළිවිය. අධිකාරියේ අදාළ වැටුප් තල අනුමත නොවන නිසා බඳවා ගැනීමේ පටිපාටියද (SOR) අනුමත කරගත නොහැකි වී ඇති බවද අනාවරණය විය. සාමූහික ගිවිසුම් මගින් වැටුප් තල හා බඳවා ගැනීමේ පටිපාටිය තීරණය කළද වරාය අධිකාරිය මේ රටේ ආයතනයක් බැවින් අනෙකුත් ආයතනවලට අදාළ නෛතික රාමුව තුළ කටයුතු කිරීමේ අවශ්‍යතාව එහිදී කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.

යම් විශේෂිත හේතු කාරණා ඇත්නම් ඒ පිළිබඳ සාකච්ඡා කර නෛතික රාමුව ඔස්සේ මෙම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග කඩිනමින් සාකච්ඡා කර නිසි තීරණයක් වහාම ගන්නා  ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය. වැඩ සහායකයන් ලෙස සුදුසුකම් රහිත 1500 කට ආසන්න පිරිසක් බඳවා ගෙන ඇති තත්ත්වයක එම වෘත්තිය හැකියාව රහිත පුද්ගලයන් සඳහා රාජකාරිය වෙනුවෙන් අමතරව අතිකාල දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. මසකට පැය 400 ක් පමණ අතිකාල දීමනා ගන්නා සේවකයන් සිටින බවද මෙහිදී හෙළි විය. මෙම තත්වය පිළිබඳ සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් බඳවා ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. එසේම දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් බඳවා ගැනීම් සඳහා ඉඩ සැලසීම පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලඥනන්ගේ වගකීමක් බව කෝප්කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු අවධාරණය කළහ.



මුදල් පනත සහ ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත අනුව ඒකාබද්ධ අරමුදල වෙත ලාභාංශ හා අතිරික්ත මුදල් ලබා නොදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. 2016 සිට 2021 දක්වා කාලය තුළ අධිකාරිය රුපියල් කෝටි 6,968 ක් ලාභ ලබා තිබුණද භාණ්ඩාගාරයට ලබා දී ඇත්තේ රු. කෝටි 60 ක් බවද එහිදී අනාවරණය විය. ඇතැම් ණය වාරික ගෙවීම, නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක්ද වැය වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා එහිදී පැවසීය. ලාභ ලබන ආයතනයක් ලෙස වරාය අධිකාරියේ කාර්යභාරය අගය කරන බවත් වරාය පනත අනුවද සියයට 8 ක ලාභයක් භාණ්ඩාගාරයට දිය යුතු බැවින් ඒ සඳහා කටයුතු කරන ලෙස දැනුම් දෙන බවත් කෝප් සභාපතිවරයා එහිදී පැවසුවේය. වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා දොඹකර මිලදී ගැනීමට වැඩ ආරම්භ කිරීමේ ප්‍රමාදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී වරාය අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මිලදී ගැනීම් කටයුතු 2024 වන විට නිම කරන්නට සැලසුම් කර ඇති බවයි.

එම කටයුතු කඩිනමින් සිදු කර එම පර්යන්තය වාණිජ  කටයුතුවලට යොදා ගනිමින්  මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය කළේය. අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. 2022 වර්ෂයට අදාළ විගණන සැලැස්මද එවන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය. මෙම කෝප් කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ඉන්දික අනුරුද්ධ, මධුර විතානගේ හා ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.