21-amendmend-post-ponned

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (07) දින සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කළද එය ලබන සතියේ දී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල් තබනු ලැබ ඇත.



අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ(06) රාත්‍රියේ ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු මෙම තීරණ වෙනස දන්වා ඇත.

පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ සංශෝධන සහිතව ඇමතිවරයා විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර කැබිනට් මණ්ඩලයේ ප්‍රධානි ජනපති ගෝඨාභය රාජපක්ෂ 21 වන සංශෝධනය සම්බන්ධ සෘණාත්මක ආකල්පයක සිටින බවට ඔහුගේ බ්ලූම්බර්ග් සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය. විධායක ජනපති ධූරය අහෝසිවීමක් මිශ්‍ර ලෙස සිදුවිය නොහැකි බවත් එක්කෝ පාර්ලිමේන්තු ආණ්ඩුවක් නැතිනම් විධායක ජනපති ආණ්ඩුවක් අවශ්‍ය බවත් ඔහු එහිදී දන්වා තිබුණි.


පසුගිය සතියේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදීද 21 වන සංශෝධනය ගැන පිල් බෙදී වාද විවාද ඇතිවූ අතර බොහෝ අය පසුපසින් සිටින ද්විත්ව පුරවැසි හිටපු ප්‍රබල ඇමතිවරයාට සිදුවන අවාසිය හේතු කරගෙන 21 වන සංශෝධනයක් අවශ්‍ය නැතැයි එම පිරිස පෙන්වාදී තිබුණි.
කෙසේ වෙතත් අගමැති රනිල් 21 වන සංශෝධනය ගැන සුබවාදී බලාපොරොත්තු තබා ඇති බව ඔහුගේ එන්ඩීටීවී සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය විය. ඔහු පවසා තිබුනේ ගෝඨාගෝගම තරුණ අරගල කරුවන් 21 වන සංශෝධනයෙන් පසු විසිර යනු ඇති බවත්  විධායක ක්‍රමය ඒ සමග අහෝසිවනු ඇති බවත්ය.
මේ අතර අද (07) පාර්ලිමේන්තු සභාවාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරන්නටද නියමිතය.