ranil-patali-harin-manusha-together

නව අගමැති රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කරමින් ඉදිරි දිනවලදී කැබිනට් අමාත්‍ය තනතුරු ලබාගන්නට ඉඩ තිබෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ගැන දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. ඒ අය වන්නේ සජබයේ පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන අයයි.




සජබයේ තිදෙනාම රට ගොඩනැගීමට රනිල්ට වැඩපිළිවෙලක් ඇතිද යන්න මාධ්‍ය ප්‍රචාරණයද සහිතව රනිල්ට ලිපි යොමු කළ අතර රනිල් ඊට හැරෙන තැපෑලෙන්ම ධනාත්මක පිළිතුරු සැපයීය.ඒ අනුව පාඨලී,හරීන් හා මනුෂ තර්කානුකූල පදනමකින් රට නගා සිටුවීම යන අරමුණින් සජබයේ ප්‍රතිපත්ති අතහැර රනිල් සමග එක්වීමට නියමිතය. මෙම කාරණාව ගැන හරින් අවස්ථා දෙක තුනකදීම ප්‍රසිද්ධියේ කියා සිටි අතර ඔහු අනෙක් අයටද තම මතය සමග එක්වන්න ආරාධනා කිරීම විශේෂිතය.පාඨලී චම්පික රණවක පසුගිය දිනවල නිහඩ පිළිවෙතක් අනුගමනය කළ මුත් අවස්ථාව ලද සැණින් සජිත් අතහැර තම ගමන යාමේ උවමනාවෙන් පසුවන්නෙකු ලෙස හදුනාගන්නට ලැබිණි.ඒ අනුව ඔහු රනිල්ට ලිපියක් යොමු කළ පසු රනිල්ගෙන් ධනාත්මක පිළිතුරක් ලැබී ඇත.එයටද මාධ්‍ය ප්‍රචාරයක් ලබාදී ඇත්තේ සිය අනුගාමිකයන්ට සිදුවන දේ ගැන සාධාරණයක් කිරීමට විය හැකිය.


මේ අතර ශ්‍රීලනිපය රනිල් යටතේ ඇමති ධූර භාර නොගන්නේ යන ප්‍රතිපත්තියක සිටින බව පුන පුනා කීවද අවස්ථා දෙකකදී එම තීරණ වෙනස් කරන ආරංචි මතුවිය.දැනට වාර්තාවන්නේ නිමල් සිරිපාල ද සිල්වාට කැබිනට් ඇමති ධූරයක් ස්ථිරව ලැබෙන බව හා මහින්ද අමරවීර හෝ දුමින්ද දිසානායක දෙන්නාගෙන් එක් අයෙකුට ඇමති ධූරයක් ලැබෙන බවකි. රනිල්ගේ යෝජනාව අනුව කැබිනට් ඇමති ධූර ශ්‍රිලනිපයට වෙන් කර ඇත්තේ දෙකකි. කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමති ධූර කිහිපයක් ලැබෙන්නට ඉඩ ඇත.
ඇමති ධූර ලබාදීම පමාකරමින් රජයේ කටයුතු පවත්වා යාමට රනිල් මේ දිනවල කටයුතු කළ අතර එය පාර්ලිමේන්තුවේ වැඩ සදහාද ගැටලු මතු කෙරිණි. නමුත් මෙම ගනුදෙනු සාකච්ඡා හමාරවනතුරු ඇමති ධූර පිලිබද අවසන් නිගමන ගන්නට බැරිව යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් ඉතා ඉක්මණින් 20 දෙනෙකුට සීමා කරන කැබිනට් මණ්ඩලයේ ඉතිරි අය දිවුරුම් දෙනු ඇත.