ranil-cabinet-ministers

ඊයේ අගමැති ධූරය බාරගත් රනිල් වික්‍රමසිංහ කැබිනට් මන්ඩලයක් ප්‍රකාශයට පත් කිරීම බොහෝ දුරට  මැයි 14 සෙනසුරාදා සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මේ සඳහා තෝරාගනු ඇත්තේ කවර පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්දැයි තවම ප්‍රකාශයට පත් කර නැත. රනිල්ට සහය දීම සම්බන්ධයෙන් සජබ හා ජවිපෙ ඊයේම ප්‍රකාශ නිකුත් කළ අතර ඔවුන් දෙපිරිසම රනිල්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව දන්වා තිබුණි. කොළඹ දිස්ත්‍රික්කයෙන්ද පරාජයට පත්වී ජාතික ලැයිස්තු ආසනයකින් ප්‍රමාදවී පාර්ලිමේන්තු පැමිණි රනිල් ජනපදනමක් නැත්තෙකු බවට හා ඔහු රාජපක්ෂ රැකීම වෙනුවෙන් රහසින් කටයුතු කරන්නෙකු බවටත් චෝදනා කර ඔහු හා එක් නොවීමට ඔවුන් තීරණය කර ඇත. රන්ජන්ගේ ප්‍රකට කියමනක් වූ ‘ඒ ඔක්කොම යාළුවො මල්ලි‘ යන්න ආද්ශ කරමින් මේ දිනවල රනිල් හා බැඳුණු ෆේස් බුක් නිර්මාණද පැතිරෙමින් පවතී.


මෙසේ බලන කල පැවති ආණ්ඩුවම රනිල්ව තෝරාගෙන ඇති අතර මහින්දගේ පුටුවේ පැත්තක සිට පැමිණ රනිල් අසුන්ගෙන තිබේ. රනිල්ගේ පත්වීමට මහින්ද හා නාමල්ද සුබපතා ඇති අතර පෙන්නුම් කරන පරිදි පොහොට්ටුවේ  සහයෝගය  රනිල්ට මහින්දට පරිදිම ලැබෙනු ඇත.
ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රනිල්ගේ පත්වීම සම්බන්ධයෙන් තවම ප්‍රකාශයක් නිකුත් කර නැති අතර ඔවුන්ගේ සහය නැතිව බහුතරය පෙන්නුම් කරන්නට රනිල්ට නොහැකිය. නොඑසේ නම් රනිල්ට සජබයෙන් හැලී එන කන්ඩායමක් සහය දිය යුතුය.
මේ අනුව කැබිනට් ඇමති ධූර බාරගන්නේ පරණ පොහොට්ටු කන්ඩායමමද නැතිනම් ජාතික ලැයිස්තු හරහා රනිල් ගෙන්නා ගන්නා රංගේ,දයා,වජිර, සාගල ආදීන්ද යන්න පැහැදිලි නැත.


දැඩි පසුබැසීමකට ලක්ව සිටින ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ ගොඩගැනීමට ආර්ථිකය ගැන දැනුම, ජාත්‍යන්තර සබඳතා පැවතීම,බුද්ධියෙන් තීරණ ගැනීම වැනි සාධක රැසක නායකයෙකු අවශ්‍ය වන අතර ඒ බොහෝ සුදුසුකම් රනිල් සතුව පැවතීම නිසා අන් අයට සාපේක්ෂව රනිල් තෝරාගැනීම ගැන ඇතැම් අය අවංකව සතුටුවේ.
කෙසේ වෙතත් රනිල්ට මින් පෙර ලැබුණ අවස්ථා පහකදී හිතූ තරම් ඔහු සමත්කම් දක්වා නොතිබීමද ගැටලුකාරීය.විශේෂයෙන්ම තම කන්ඩායම පරිපාලනය ගැන ඔහු උනන්දු නොවේ. හොඳ තීරණ ගන්නා නමුත් තීරණ ක්‍රියාත්මක වේයයි අපේක්ෂාවෙන් පාඩුවේ සිටින්නෙකි. අධීක්ෂණය අවමය.

මේ දුර්වලතාවන් නිසා පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරය වැනි භයානක ප්‍රතිවිපාක වලට රට මුහුණ පෑ අතර ඔහුගේ පාලන සමයේදී කුමන්ත්‍රණකාරීන් පහසුවෙන් බලය ඩැහැගන්නා ලදි.
අධිකරණයට ඇඟිලි නොගැසීම රනිල්ගේ විශේෂ පුරුද්දක් වුවත් මේ අවස්ථාවේ රනිල්ට උඩින් සිටින විධායකයේ බලපෑම අධිකරණයට පැවතියොත් වාර්තා වන්නේ ‘නිදොස් කොට නිදහස් කිරීමේ‘ ආරංචි ගැන පමණි.
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කරන බවත්  විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කරන බවත් දන්වා ඇත.රාජපක්ෂලාට පත්කර පුරුදු ‘රාජ්‍ය අමාත්‍ය ධූර‘ අවශ්‍ය නැතැයි ඔහු දන්වා ඇත.
අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගැනීමට ද නියමිතය.