mahinda-resign-rumours

අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ රාත්‍රී සිය ඉල්ලා අස්වීම සම්බන්ධ ලියමනක් ජනපති ගෝඨාභය වෙත යොමු කළ බවත් අද උදෑසන අරලියගහ මන්දිරයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇති බවත් වාර්තා පළවී තිබුණි.


මෙම ආරංචිය ඊයේ රාත්‍රී 8.30 ට පමණ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය කරන ලද නමුත් රාත්‍රී 12 ට පමණ ඩේලි මිරර් කළ විමසීමකදී අගමැති මාධ්‍ය අංශය එවැනි ලියමනක් යවා නැති බව හා ඉල්ලා අස්වීමක් සිදු කර නැති බව තහවුරු කර තිබුණි.
මේ ආකාරයට අගමැතිවරයා ඉල්ලා අස්වීමට උත්සාහ දැරූ කතා පළවන්නේ ආසන්න කාලයේ පිට පිට 4 වන වතාවටය. දින 52 ආණ්ඩුවක් පිහිටවූ 2018 කාලයේත් අගමැති ලෙස කටයුතු කරද්දී මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වන්නට සිදුවූයේ මෙවැනි ආටක නාටක රැසක් මැදයි.
අවසානයේ ඔහු සංඝරත්නය කැඳවා විශාල ආශිර්වාදයක් සහිතව සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ ‘මම තීරණය දැනුම් දීමේ ‘ගෞරවය‘ පිළිබඳ සුවිසල් ගැටලුවක් ඔහුගේ මනස තුළ පවතින බව ඒත්තු ගන්වමිනි.



අගමැතිවරයාට එරෙහිව විශාල ජන බලයක් පාරවල් පුරා ‘මයිනා ගෝ‘ කියමින් සිටිද්දී අගමැතිවරයා පොදු ස්ථාන වල ‘හූ‘ පාරවල්වලට ලක්වෙද්දීත් සිය තනතුර අත්හැරීම ලජ්ජාවට හේතුවේයයි සලකමින් ඒ තුළ රැඳී සිටින්නේද යන්න ඒ අනුව සැක මතුවේ.

සමහරුන් කියන්නේ මහින්ද ඉවත්වීම යනු එම රාජපක්ෂ පරම්පරාවටම හා එහි වන්දිභට්ටයන්ට ඉදිරි දේශපාලන අනාගතය අහිමි කරවීමක් බවයි ඒ නිසා මහින්දගේ ඉවත්වීම විශාල පිරිසකගේ අනාගතය අඳුරු කිරීමකි. තවත් අය පවසන්නේ මහින්ද ඉවත්වීම සමග අධිකරණයට බලපෑම් කිරීමේ හැකියාවන් ඇතුළු රාජපක්ෂ බල පරාත්‍රමය එක්වරම ශූන්‍ය වීම මත ඉදිරියේදී නඩුහබ පැරදීම් ‘නිදොස් කොට නිදහස් කිරීම්‘ ආපසු හැරීම් ආදිය සිදුවී ජංජාලයක් උරුම විය හැකි බවයි.
‘මයිනා නෙවර් ගෝ‘ වී ඇත්තේ මේ නිසායයි ඇතැමෙකුගේ මතයයි.

ප්‍රායෝගිකව සලකන්නේ නම් අගමැති තනතුරක් යනු ජනතාවට කරන සේවයක් හා සම්බන්ධ තනතුරකි. නමුත් මහින්ද එම තනතුරේ පසුගිය කාලයේ වැඩ කරේ එම තනතුරේ කාර්යභාරය ඉටුකරමින්ද යන්න ගැටලුවකි. බැසිල්ට පෙර මුදල් ඇමතිද ඔහුය.මෙතරම් අර්බුදයක් පවතිද්දී ඔහු පාර්ලිමේන්තුවේදී හෝ අර්බුදය ගැන පැහැදිලි කිරීම් කරන්නට හෝ ඒ ගැන විසදුම් ලබාදෙන්නට කතා පවත්වා නැත. ආසන්න කාලයේ පැවැත්වූ එකම කතාව මීට සති එකහමාරකට පමණ පෙර 21 වන සංශෝධනය ගෙන ආ යුතු බවට කළ යෝජනාවකි.


ඒ තම පිරිසගේ බලය සම්බන්ධ කාරණාවකි.


සත්‍ය ලෙසම අගමැති ධූරය හෝ ජනපති ධූරය මේ කාලයේ සක්‍රීයද යන්න පවා ගැටලුවකි. තීන්දු තීරණ කිසිවක් කලට වේලාවට ගන්නා ආකාරයක්ද නොපෙනේ. ගෑස් පෝලීම් වල ඉන්ධන පෝලිම්වල පීඩා විදින ජනතාවට ඒවා අවසන් බවට මාධ්‍ය නිවේදන පවා ලැබෙන්නේ දවසක් දෙකක් ගතවී සියල්ල සිදුවූ පසුවය.

ඒ අනුව අගමැති තනතුරද මේ වනවිට පිරිසකගේ බලය පවත්වායාමට අවශ්‍ය වූ පණනැති මෙවලමක් පමණක් බවට පත්ව ඇති අතර රාජපක්ෂ නමින් එය ගිලිහිම එම පිරිසගේම බලය අතහැරීමක් ලෙස සලකා ඇත.
පසුගිය සිකුරාදා කැබිනට් රැස්වීමකදී අගමැති ඉවත්වීම සුදුසුම දෙය බවට ස්ථිර කරගත් බව කැබිනට් ප්‍රකාශකවරයාද දන්වා ඇත.
අද (9) දින අරලියගහමන්දිරයට පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයින් විශාල පිරිසක් ගෙන්වාගෙන අගමැතිවරයා යම් දෙයක් කරන්නට යන බව ප්‍රකාශ වෙතත් ඒ කුමක්දැයි පැහැදිලි නැත.  රාජපක්ෂ නිසාම දේශපාලනය කරන හා සියලු දේ එම සුදුසුකම මත ලබාගත් පිරිස කොහොමත් ඉල්ලන්නේ රාජප්කෂලාමය. මන්ද ඔවුන්ගේ පුද්ගලික පැවැත්ම ඇත්තේ එතැන නිසාය.නමුත් මහජන මතය ‘සංවේදී‘ කියන නායකයන් තේරුම් ගත්තේ නම් ඉල්ලා අස්වීම ලබාදී දැන් බොහෝ කල්ය.