litro-gas-shortage

ගෑස් නොමැතිකම නිසා අද (8) දිවයිනේ ස්ථාන ගණනාවක කලබලකාරී තත්වයන් වාර්තා විය. මහරගම නාවින්න ඉන්ධන පිරවුම්හලේ, කොළඹ ආමර්වීදිය මංසන්ධියේදී,ජම්පටා වීදිය ප්‍රදේශයේ,කොම්පඤ්ඤවීදිය මංසන්ධිය, හැටන් නගරයේ සිදුවූ විරෝධතා කැපී පෙනිණි. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග ගණනාවක්ද අවහිර විය.අද සවස ලිට්‍රො සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බවය.


අද දිනයේ නිවාඩු දිනයක් වුවත් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෘහස්ත ගෑස් සීමිත ප්‍රමාණයක් බෙදාහැරීමට නිකුත් කළ බවද එහි දක්වා තිබුණි.
තොග නොමැති නිසා මහජනතාවට නිකුත් නොකරන බවත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවත් ඔවුන් දන්වා ඇත.
සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ගෑස් සහිත නෞකා දෙකකට අදාළ ගෙවීම් හෙට(09) සිදු කරන බවයි.
ඒ අනුව, ගෑස් මෙ.ටොන් 3500 බැගින් වූ නෞකා දෙක වෙනුවෙන් ඩොලර් මිලියන 7 ක් ගෙවීමට නියමිත බවත් එම නෞකා ඕමානයේ සිට මෙරටට ලබන බදාදා (11) පමණ වනවිට ළඟා වන බව අපේක්ෂා කරන බවයි.

එක් නෞකාවක් මාලදිවයිනට ළඟා වී ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
 ඉන්දීය ණය පහසුකම යටතේ, ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 120 ක් ලබා ගැනීමට තීරණය කළ බවද ලෝක බැංකුවෙන් ආධාර ලෙස ඩොලර් මිලියන 70 ක් ද ගෑස් සදහා වෙන් කර ඇති බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය .
ගෑස් හිඟය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද, ඔහු ප්‍රකාශ කළේය.