kaputu-kak-kak-kak

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ නිවස ඉදිරිපිටදී “කපුටු කාක් කාක් කාක්” යනුවෙන් නළා ගැසී යයි උරණව සම්බන්ධීකරණ ලේකම්වරයා පාසල් දරුවන් දස දෙනෙකුට වේවැල් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.  සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කරන එම පුද්ගලයා මන්ත්‍රීවරයාගේ සහෝදරයකු බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.



අඟුරුවාතොට වේරවත්ත ප්‍රදේශයේදී මෙම සිදුවීම වී ඇති අතර එම පාසල් දරුවන් පිරිස වෙසක් බලන්න යමින් සිටියදී සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිටදී "කපුටු කාක්, කාක් කාක්'' යනුවෙන් කීප වතාවක්ම අත රැඳි නළාවලින් ශබ්ද නැගීම හේතුවෙන් උරණව මෙම පහරදීම සිදුකර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. පහර දුන් බව කියන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සහෝදරයා වන මන්ත්‍රීවරයා ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට නීතිපතිවරයා විසින් නම්  කරන ලද අයෙකි.  වේවැලෙන් පහර දීමේ පැමිණිල්ල සම්බන්ධයෙන් දෙපාර්ශ්ව යම පොලිසියට කැඳවා විභාග කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේම එකඟතාව මත සමථ වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ