fuel-issue-hospital

රට පුරා රෝහල්වල ඇතැම් ඖෂධ වර්ග හිඟවීම හා ඉන්ධන අර්බුද නිසා  කාර්ය මණ්ඩල පැමිණීම අවමවීම ආදිය හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමේ ගැටලු මතුව ඇතැයි වාර්තා වේ.  විශේෂයෙන්ම හෘද, පිළිකා, දියවැඩියා ආදී රෝගවලට ලබා දෙන ඖෂධ ඇතුළුව ඖෂධ වර්ග රැසක හිගයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුවන ප්‍රවාහන ප්‍රශ්න නිසා රෝහල් කාර්යමණ්ඩලවලට සේවයට වාර්තා කිරීමේ ගැටලු පවතින බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. වික්‍රමසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ රෝහලේ ද යම් යම් ඖෂධ අඩුපාඩු පවතින බවයි.

ඖෂධ හා ශල්‍ය උපකරණ හිගය හේතුවෙන් ඇතැම් ශල්‍යකර්ම කත්දැමූ නමුත් හදිසි හා අත්‍යවශ්‍ය ප්‍රතිකාර කටයුතුවලට ගැටලුවක් ඇති නොවූ බව ද  ඔහු සඳහන් කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ යම් යම් ඖෂධවල අඩුපාඩු පැවතියත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර ආදිය මගින් එම හිගය මගහරවා  ගැනීමට හැකි වූ බවයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම ගැටලුවක් වී ඇති නිසා කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් බාර ගැනීම ඊයේ (23) සිට සීමා කිරීමට එම රෝහල පියවර ගෙන තිබිණි.  රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහලේ කාර්යමණ්ඩලය පැමිණීම ඉතාමත් අවම මට්ටමක පැවතීම නිසා, රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති බවත් වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට පමණක් ඉන්ධන ලබා දී රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට නොහැකි බවත් වෛද්‍යවරයා කීවේය.   මේ හේතුවෙන් රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

හදිසි හා අත්‍යවශ්‍ය රෝගීන් හැර සාමාන්‍ය රෝගීන්  ඇතුළත් කිරීම සීමා කරන ලෙස උපදෙස් දී ඇතැයි කී අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපත් සහිතව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක් යවා තිබෙන බවද පැවසීය. ඖෂධ හිගය සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පැවසුවේ පසුගිය කාලයේ ඇතැම් ඖෂධ වර්ගවල හිගයක් පැවතියත් මේ වන විට එම ඖෂධ ලැබෙමින් පවතින බවයි.

පසුගිය කාලයේ හිගව පැවැති නිර්වින්දන ඖෂධ හා පිළිකා රෝගීන්ට ලබාදෙන ඇතැම් ඖෂධ වර්ගවල විශාල තොග ලැබී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය. ඩීසල්, ගෑස්, පෙට්‍රල් වැනි අර්බුදයක් ඖෂධ සම්බන්ධයෙන් නැතැයි කී  වෛද්‍යවරයා හිඟ ඖෂධ සඳහා විකල්ප ඖෂධ පවතින බවත්, එමෙන්ම පවතින ප්‍රමාණ කළමනාකරණය කරගැනීම හේතුවෙන් කිසිදු රෝහලක අර්බුදකාරී තත්වයක් මතු නොවූ බවත් පැවසීය. මෙරට ඖෂධ වර්ග 21,000ක් පමණ භාවිතයේ ඇතැයි කී වෛද්‍ය සුදර්ශන මහතා ආධාර  වශයෙන් මෙන්ම තානාපති කාර්යාල හරහා ද පසුගිය කාලයේ ඖෂධ විශාල ප්‍රමාණයක් ලැබුණු බව කීවේය.



ඉදිරි මාස තුනක පමණ කාලයකට ප්‍රමාණවත් තරම් ඖෂධ තිබෙන බව කී වෛද්‍යවරයා පෞද්ගලික අංශයේ ඖෂධ අලෙවි සල්වල ඇතැම් ඖෂධ වර්ග නොමැති වීමට හේතුව ඩොලරයේ  අගය ඉහළ යාමත් සමග ඇතැම් සැපයුම්කරුවන්  ඖෂධ නොගෙන්වීම බව ද සඳහන් කළේය. පෞද්ගලික අංශයේ නොමැති ඇතැම් ඖෂධ ද  රෝහල් පද්ධතියෙන් ලබාගත හැකි බව හෙතෙම  පැවසීය.

 (ඩයනා උදයංගනී  - ලංකාදීප)